Press "Enter" to skip to content

තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට.‍.

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුණු පිච්ච මල සුවඳයි ටෙලි සිත්තමේ නපුරු රෝහිණී ඔබට තවමත් අමතක නැතුව ඇති. බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්නට සිදුවීමත් ඇය ඒ චරිතයට සාධාරණයක් කළ බවට සාක්ෂි ලෙස සැලකිය හැකිය. සිරස ‘තරු මංසල‘ ඔස්සේ කලාවට පිවිසි ඇය පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාව ද ජයගනිමින් දස්කම්වල හිණිපෙත්තේ සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. මේ දිනවල සාර්ථක ලෙස රට පුරා වේදිකාගත වන “ඉල්ලන් කෑම“ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වන රෝහිණී හරහා වේදිකාවට නව පණක් දෙන ඇය සමඟයි අද කතාබහ. ඇය දුෂී ප්‍රභා ඉලංගකෝන්ය.

දුෂී මේ දවස්වල “ඉල්ලන් කෑමත්“ එක්ක රට පුරා යනවා නේද කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම කියන්න සතුටුයි, රටේ මේ වගේ වාතාවරණයක වේදිකා නාට්‍යකට මේතරම් ප්‍රතිචාර ලැබීම ගැන. අපි හිතුවෙත් නෑ මේ තරම් ප්‍රතිචාරයක් ලැබේවි කියලා. ‘ඉල්ලන් කෑම‘ සුනිල් ශ්‍රී ගේ අධ්‍යක්ෂණයක්. රෝහිණී කියන්නේ මේකෙ ප්‍රධාන චරිතය. රෝහිණී හරහා ඉලක්ක වෙන්නේ අපේ රට කිව්වත් හරි. නාගරීකරණයත් එක්ක අපේ රට වෙනස් වුණු හැටි ගැමි සමාජය නැතිවෙලා ගිහින් ඉස්සර තිබුණු සමගිය, එකමුතුකම, එඩිතරකම නැතිවෙලා ගිය හැටි, ඒ ඔස්සේ රට විනාශය කරා ගිය හැටි තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ.

රට මේ තරම් ආර්ථික අර්බුදයකට ලක්වෙලා තියෙද්දි තවමත් වේදිකාවට ප්‍රේක්ෂකාගාරය විවෘතයි කියලා හිතන්න පුළුවන් ද?

සුනිල් ශ්‍රී හොඳ නිර්මාණකරුවෙක්. මීට කලිනුත් මං ඔහුගේ “ඉලන්දාරි, ගත්තොත් දෙන්නෑ“ වගේ නාට්‍යවලට සම්බන්ධවෙලා තියෙනවා. මං නම් හිතන්නේ ප්‍රේක්ෂකයා තාමත් රසවින්දනයෙන් ඈත් වෙලා නෑ. හොඳ නිර්මාණයක් වෙනුවෙන් තවමත් ඔවුන් අවදියෙන් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි, මේ ළඟදි අපි බදුල්ලේ “ඉල්ලන් කෑම“ ෂෝ එකක් කළා. අපි යද්දි සංවිධායක මණ්ඩලය කිව්වේ ටිකට් විකුණගන්නත් බැරි වුණා කියලා. ඒත් කියන්න සතුටුයි අපි ගිහින් ෂෝ එක පටන් ගනිද්දි හෝල් එකට දාන්න බැරි තරම් සෙනඟක් හිටියා. මං හිතන්නේ කාලයක් වැහිලා තිබිලා දැන් නැවතත් ආරම්භ වෙලා තියෙන නිසා ප්‍රේක්ෂකයා වේදිකාව කරා එන්න පටන් අරන්.

දුෂී ප්‍රභා කියන්නේ කලාවේ බොහෝ ඉසව් නියෝජනය කළ කෙනෙක්. මේ දිනවල පුංචි තිරයේ දකින්න නැති වුණත් වේදිකාව අතෑරලා නෑ වගේ. ඔබ වේදිකාවට මේතරම් ළැදි ඇයි?

මං පුංචි කාලෙ ඉඳන්ම වේදිකාවත් එක්ක නිතර ගැටුණු කෙනෙක්. රාජ්‍ය ළමා හා යෞවන නාට්‍ය උලෙළ නියෝජනය කරලා තියෙනවා. ඊට පස්සෙ ජයසේකර අපෝන්සුගේ ගොඩක් ජනප්‍රිය වුණු තටු නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. වේදිකාවෙදි අපිට ප්‍රේක්ෂකයා සමඟ සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලගෙ ප්‍රතිචාරය එවෙලෙම ලැබෙනවා. ගොඩක් අය නාට්‍ය ඉවර වුණ ගමන් ඇවිත් අපිත් එක්ක කතා කරනවා. මං හරි ආසයි ඒකට.‍

වේදිකා නාට්‍ය කියන්නේ ප්‍රේක්ෂකයා සමඟ සජීවී ගනුදෙනුවක්. ඉතින් වැරදුණු තැන් නැද්ද?

තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ. වේදිකා නාට්‍යවල වැදගත් වගේම බැරෑරුම්ම දේ තියෙන්නේ එතැන. කැපවීම ගොඩක් වැදගත්. ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කරද්දී අපිට වැරදුණොත් කට් කියලා ආයෙ ගන්න පුළුවන්. නැත්නම් එඩිට් කරන්න හරි පුළුවන්. ඒත් වේදිකාව මත කට්, එඩිට් නෑ. තිර පිටපත හොඳින් ග්‍රහණය කරගෙන අවබෝධයෙන් ඉන්න ඕන. හැම චරිතයක්ම එකිනෙකට සහසම්බන්ධයක් තියෙනවා. එක් කෙනෙකුගෙ දෙබසෙ අවසානය අනිත් කෙනාගේ දෙබසෙ ආරම්භයට ගොඩක් බලපානවා. එක්කෙනෙකුට වැරදිලා අනිත් කෙනාට මුහුවෙන්න බැරි වුණොත් නාට්‍යයේ රිදම් එක යනවා. ඒක ලොකු අවුලක්. අනිත් එක තමයි වේදිකා නාට්‍යවල ඕනම කෙනෙක් තමන්ගෙ දෙබස් විතරක් නොවෙයි මුළු පිටපත ගැනම අවධානයෙන් ඉන්න ඕන. මට සාමාන්‍යයෙන් රිහර්සල් 5ක් විතර යද්දි පිටපත පාඩම් හිටිනවා. ආයෙ බලන්න ඕන වෙන්නෙත් නෑ. ඒකට සාර්ථක පුහුණුවක් තියෙන්න ඕන. මං අනෝජා වීරසිංහ මහත්මියගෙ අභින පාඨමාලාව හදාරලා තියෙනවා. වේදිකාවෙදි කටහඬ පාලනය වගේම කටහඬ රැකගන්න විදිහත් ඉගෙන ගත්තා. කාලයත් එක්ක තමයි ගොඩක් අත්දැකීම් ලැබෙන්නේ.

වේදිකා නාට්‍යවල පසු පෙළක් ඉන්න ඕන කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම ඉන්න ඕන. මොකද කෙනෙකුට අසනීපයක් කරදරයක් වුණොත් ඒ වෙනුවට ආදේශකයක් තියෙන්න ඕන. මං ඉගෙන ගත්ත විදිහට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණාම ඒකට නොයා ඉන්න පුළුවන් අපේ මරණෙදි විතරයි කියලයි. ප්‍රධාන චරිත සමඟ ගැටෙන චරිතවලට නිතරම ප්‍රධාන චරිත ෆලෝ කරන්න වෙනවා. ප්‍රධාන චරිතයකට හදිසියේ අදේශකයක් කරන්න අමාරු නිසා ඒ වෙනුවට ඊළඟ කෙනා සූදානම් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. පොඩි කැරැක්ටර් එකකට නම් ක්ෂණික ආදේශකයක් නිසා ලොකු බලපෑමක් නෑ.

දුෂී මේ දවස්වල ටෙලි නාට්‍ය භාරගන්නෙ නෑ කියලා ආරංචියි. පුංචි තිරයට සමුදීල වද්ද?

සමුදීල නම් නෑ. විවාහයත් එක්ක විදෙස්ගත වීමේ බලාපොරොත්තුවකින් ඉන්නේ. ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණත් ඒ හේතුව නිසා භාරගත්තේ නැහැ. අතරමඟදි දාල යන්න බෑනේ.


ඒ කියන්නේ දුෂීටත් ඉක්මනින් මංගල සීනු හැඬවෙන්නයි යන්නේ. කොහොමද ඒ හමුවීම?

හමුවීම සිද්ධ වුණේ නම් මවුපියන්ගේ මැදිහත් වීමෙන් ප්‍රපෝසල් එකකින්. එයා වෛද්‍යවරයෙක්. විදෙස් රටක සේවය කරන්නේ. විවාහයත් එක්ක මටත් විදෙස්ගත වෙන්න සිදුවේවි. ඒ කටයුතු එක්ක ඉන්න නිසා අලුතෙන් නාට්‍ය භාරගත්තෙ නෑ.

ඒ කියන්නේ රංගනයට තිත තියනවා කියන එකද?

තිත නොතියා කොමාවක් තියල යන්නම්කෝ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඇවිත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

සිළුමිණ

More from CinemaMore posts in Cinema »