Press "Enter" to skip to content

ජල කරාම බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි

වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස අද (15) දිවි අහිමි විය. එම අන්තුරින් තවත් දරුදැරියන් 05 දෙනෙකු ද තුවාල ලැබීය.

අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද දිනටය.

අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම බැම්ම කඩා වැටී තිබුණි.

එහිදී, මෙම වෙන්වී ගොස් ඇති කොන්ක්‍රීට් කොටස තුළ සිසුවියන් දෙදෙනෙක් සිරවී තවත් සිසු සිසුවියන් සිව් දෙනෙකුටද තුවාල සිදුවුණි.

අනතුරෙන් මියගිය සෙහන්සාගේ සහෝදරයා,

“ඒ මගේ නංගි. යාළුවෝ එක්ක සෙල්ලම් කර කර හිටියා. මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලි අර තාප්පේ උඩට නැග්ග ගමන් ඒක කඩන් වැටුණා. ඒක ඇඟට වැටුණා.”

කොන්ක්‍රීට් කොටස තුළ සිරවූ සිසුවියන් දෙදෙනා බේරාගැනීමට ගුරුවරු, පාසලට පැමිණ සිටි මව්පියන් මෙන්ම අනතුර සැලවූ අසල්වාසීන් ඇතුළු පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

තුවාල ලැබූ සිසු සිසුවියන් 6 දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණි.

කොන්ක්‍රීට් කොටස තුළ සිරවී බරපතළ තුවාල ලබා සිටි සිසුවිය රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් තිබූ බව වාර්තා විය.තුවාල ලැබූ අනෙක් සිසුවිය ඇතුළත් කෙරුණේ, රිජ්වේ ආර්යා ළමා රෝහලටය.

මේ අතර අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහල්ගත කර තිබේ.

පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි.

අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය අපරාධ පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණි.

ඒ අලුත්කඩේ අංක 4 වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත හේරත් විසිනි.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙතද පැමිණි සිටියේය.

අනතුරට හේතුව, ජල කරාම සවිකර ඇති ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් ගොඩනංවා නොතිබීම බවට මව්පියන් හා අසල්වාසීන් චෝදනා කරයි..