Press "Enter" to skip to content

වාහන ලක්ෂ 7ක එයාර් බෑග් අතිශය අනතුරුදායකයි… වාහන මාදිලි 47ක් යළි කැඳවයි..

ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරීත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් වාහන ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ධාවනයේ යෙදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිළුමිණට ප්‍රකාශ කළේය.

වායු බැලූන ක්‍රියාකාරිත්වයේදී රියැදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි ජීප් රථද මෙසේ මහා මාර්ගයේ ධාවනය වන බව තහවුරු වී තිබෙන බවත් නිෂ්පාදන දෝෂ සහිත නිසා එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය වන බව තහවුරු වී තිබේ. මේ වන විට වාහන ආනයනික ඒජන්ත සමාගම් විසින් අදාළ අවදානම් කාණ්ඩ සහිත වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර තම දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

වායුබැලූන් අවදානම් සහිතව වාහන ධාවනය ඉතාම අනතුරුදායක බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) ටී.එම්.එස්.කේ තෙන්නකෝන්ගෙන් අදහස් දක්වමින් පැවසුවේ ආපසු කැඳවීම් සිදු කළ වාහන සම්බන්ධයෙන් තොරතුරු එක් කර මාධ්‍ය හරහා කඩිනමින් ජනතාව දැනුවත් කරන බවයි.

එසේම මේ වන විට මෙරට මෝටර් රථ ආනයන ඒජන්තවරුන් විසින් වාහන මාදිලි 47ක් වායු බැලූන යළි ස්ථාපනය කිරීම පිණිස ආපසු කැඳවා ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ යටතේ හොණ්ඩා වාහන කාණ්ඩ 9ක් යටතේ මාදිලි 33ක් ද, මිට්සුබිෂි කාණ්ඩ 3ක් යටතේ මාදිලි 8ක් ද ටොයොටා මාදිලි 6ක්ද ආපසු කැඳවා තිබේ.

මේ වන විට ලෝකය පුරා විවිධ වාහන කාණ්ඩ යටතේ ආපසු කැඳවා ඇති වාහන මාදිලි සංඛ්‍යාව 100කට අධික බව වාර්තා වේ. ඒ යටතේ මැස්ඩා කාණ්ඩ 7ක් සුපිරි බෙන්ස් කාණ්ඩ 10ක් මිට්සුබිෂි කාණ්ඩ 6ක් සුබාරු කාණ්ඩ 5ක් ටොයොටා කාණ්ඩ 13ක් වොක්ස්වගන් කාණ්ඩ 7ක් අවුඩි කාණ්ඩ 19ක්ද ලෙක්සස් කාණ්ඩ 7ක්ද ආපසු කැඳවා ඇත.

ඊට අමතරව හොණ්ඩා කාණ්ඩ 16ක්ද මෙසේ ආපසු කැඳවා තිබෙන අතර එම කාණ්ඩ 16ට අමතරව අධි අවදානම් හොණ්ඩා වාහන කාණ්ඩ 7ක් ද නම් කර තිබේ. මේ වාහන ආපසු කැඳවීම් ලෝකය පුරා සිදු කළත් මෙරට එක් සමාගමක් හැර වෙනත් කිසිදු සමාගමක් වාහන එසේ ආපසු කැඳවීමක් සිදු කර නොතිබුණි.