Press "Enter" to skip to content

ඔබේ විදුලි වාහන හීනය හැබෑ කරන මෝක්ෂා

බිඳ වැටුණු ආර්ථිකයක් සහිත සමාජයක වඩාත් බිහිසුණු ව්‍යසනය නිර්මාණය කරන්නේ තමනුත් කරවටක් ගිලෙමින් සිටින මොහොතක පිදුරු ගසක පමණ දෙයක එල්ලී ජීවිතය ගලවා ගන්නට උත්සාහ නොකර අවලාද කියමින් එහිම ගිලී මියෙන්නට සැරසී සිටින කුසීත මිනිස්සුය. එවැනි ප්‍රජාවක් හමුවේ නිසැකවම මේ රට යහපත් ආර්ථික දිශානතියක් වෙත යොමු කළ හැකි බවට විශ්වාස කරන, ඒ සඳහා වූ සැලසුම් ප්‍රායෝගික කරමින් සිටින විරල පෞරුෂයයක් සහිත මිනිසුන් ද දකිමි. ලෝකය වෙනස් කළෙත් චින්තන දුගී මහා ප්‍රජාවක් නොව මෙවැනි අධිෂ්ඨානය හා දැක්මක් සහිත මිනිසුන් අතළොස්සක්ය.

මෙරට සිටින එවැනි විශිෂ්ට ව්‍යවසායකයෙක් අබිමුව හිඳමි. ඔහු ව්‍යාපාරික සහජයක් සහිත අයෙකි. කලක් මේ රටේ ව්‍යාපාර පන්තිය ඔසවා තැබීමට උර දුන් ව්‍යාපාරික පන්තියක් වූයේය. සමාජය ඔවුන් හැඳින්වූයේ තමන්ට වඩාත් ළෙන්ගතු “ මුදලාලි “ නමිනි. දාස මුදලාලි, නවලෝක මුදලාලි, සුමතිපාල මුදලාලි මෙන්ම වෙල්ගම මුදලාලි ඇතුළු ඒ විශිෂ්ට ව්‍යවසායක පන්තියේ සංකල්පීය ආදර්ශ තවමත් මේ පොළවේ වෙන හැඩයකින් රෝපණය කළ පසු පරම්රාවේ සාර්ථක චරිත දුලබය. අප අබිමුව ඉන්නා මේ සරල මිනිසා එවැනි දුලබ චරිතයකි. ඔහු එස්.ඒ වෙල්ගම පරම්පරාවේ ඉදිරිගාමී ගමනක් යන විද්වත් ව්‍යවසායකයෙක් ලෙස අයිඩියල් මෝටර්ස් නිර්මාණය කරමින් පියා විසින් හඳුන්වා දුන් රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක් කළ නලීන් වෙල්ගමය.

බලශක්ති අර්බුදයක් සහිත ඉදිරි පුනර්ජනනීය බලශක්ති විප්ලවයක් සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් රටක ලෝකයේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයෙක් සමඟ එක් වී අපේ රට තුළ රටට ගැළපෙන විද්ත් වාහනයක් මේ වන විට අයිඩියල් මෝටර්ස් හරහා ඔහු විසින් සැලසුම් කර තිබේ. විද්‍යුත් වාහන සංස්කෘතිය මේ රට තුළ තිරසාරව රෝපණය කරන්නට අවශ්‍ය ප්‍රායෝගික වෙනස ඔහුගේ ආයතනය අභියෝගවලට මුහුණ දෙමින් සහතික කර තිබේ. අප මේ කෙටි සංවාදය විවර කරන්නේ බලාපොරොත්තු සහගත ඒ ලාංකේය ව්‍යවසායකයාට සිය හඬ අවදි කරන්නට ඉඩ දෙමිනි.

“අයිඩියල් ගෲප් ගැන කතා කරන කොට අපේ රටේ වාහන එකලස් කිරීමේ ව්‍යාපාරය මග හරින්න බෑ. අයිඩියල් මෝටර්ස් තමයි ලංකාවේ පළමු වරට පිළිගත් වාහන නිෂ්පාදකයෙක් විදිහට මහේන්ද්‍රා වගේ ලෝකයම පිළිගත් වාහන නිෂ්පාදන ආයතනයක් සමඟ රට තුළ ඍජු ආයෝජනයක් කර ඒ අයගේ නිෂ්පාදන ලංකාවේ එකලස් කරන්න පටන් ගත්තේ.

ඒ කර්මාන්ත ශාලාව අපි හඳුන්වන්නේ මහින්ද්‍රා අයිඩියල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමින්. ඔවුන් ආයෝජන මණ්ඩලය හරහා ඩොලර්වලින් සියයට 35ක ඍජු ආයෝජනයක් කර තිබෙනවා. අපි සියයට 65ක් ආයෝජනය කර තියනවා. මහින්ද්‍රා නිෂ්පාදන විදිහට අපි සැහැල්ලු ට්‍රක් එකක්, 1200 සීසී ඇන්ජින් ධාරිතාවක් සහිත ප්‍රෙටල් සහ ඩීසල් කාර් එකක් ලංකාව තුළ එකලසක් කළා. අපි මේක පටන් ගත්තේ වර්ෂ 2018 දී. එය තමයි අපේ වැදගත්ම ආරම්භය. කාර් නිෂ්පාදනයේදී අද ඉන්දියාව ඉන්නේ තුන්වැනි හෝ හතරවැනි තැන.

අපේ ප්‍රධාන සැලසුම වුණේ ඔවුන්ට අවශ්‍ය වාහන අමතර කොටස් නිෂ්පාදනය කර Original Equipment Manufactures කියන සන්නාමයට ඇතුළත් වෙන්න. එවිට අනුමත ප්‍රමිතිය සහ ඉහළ ගුණාත්මක බව සහතිකය ඔවුන්ගෙන් ලැබෙනවා. අප මේ විශාල වෙළෙඳපොළ සම්බන්ධව දැන් අවධානය යොමු කර තියෙන්නේ. අපි දැන් කතා කරගෙන යන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ මහේන්ද්‍රා වාහනවලට සීට්ස් හදන්න සැලසුම් කරනවා. අපේ වාහන එක්සල් කරන සමාගම වටේ අපි හැදුවා ලාංකිකව අමතර කොටස් නිෂ්පාදනය කරන තැන්. කොහොම ද අපේ අගය එකතු කරලා නිෂ්පාදනයක් එළියට දාන්නේ කියන එක. අපේ ප්‍රමිතිය මවු සමාගම විසින් නිර්දේශ කළ යුතුයි.

අපි සීට් හදනවා, වාහනයට අවශ්‍ය Start Top Unable බැටරිය හදනවා එක්සයිඩ් එකේ. සියැට් ටයර් එක හදනවා මේ රටේ.

කාලයක් අපේ ප්ලාන්ට් එක දිව්වේ ඉන්දියාවෙන් ආපු මහේන්ද්‍රා ඉංජිනේරුවො. ඒ අතර අපි අපේ තරුණයො බඳවා ගත්තා. අවුරුදු තුනකින් පස්සේ තාක්ෂණික කළමනාකරණය ඉන්දියානු ඉංජිනේරුවො අපට භාර දුන්නේ, “දැන් අපි මෙතන ඉඳලා වැඩක් නෑ. ඔයාගේ කොල්ලො ටික සියයට සීයක් වැඩේ කරනවා. ඉන්දියාවෙවත් අපට මෙහෙම සම්පත් නෑ“ කියලා. දැන් අපේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් දුවන්නේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගෙ දැනුමෙන් සහ ශක්තියෙන්.“

මහේන්ද්‍රා සමඟ ඇති වූ සම්බන්ධය තම ව්‍යාපාරයේ දැනුම සහ තාක්ෂණික පරිණතිය පිළිබඳ නලීන් වෙල්ගම පසුවන්නේ තෘප්තියෙනි. ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධව වූ ඔහුගේ අතීත මූලයන්ගෙන් ලද සහජය වර්ණවත් වන්නේ ඒ දැනුම් පරාසයත් සමඟිනි. ඒ උත්තේජනය ඔහු තුළ ඇති කර තිබෙන නව චින්තන ප්‍රවේශය ජාතියකට සුබ ලකුණු පහළ කරයි. ඔහු විද්ත් වාහන ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙමින් ඇත. ඒ ලංකාවේදී සැලසුම් කර එකලස් කරන සිය ‘මෝක්ෂා‘ වාහනය සමඟිනි. එය වෙනම කතාවකි.

“අපි නවෝත්පාදන පරිචයක් ඇති උසස් තාක්ෂණික ඥානයක් සහිතව සිටි ජාතියක්. යුරෝපීයන් ගස් උඩ ඉන්න කාලයෙදි තමයි අපි දැවැන්ත තාක්ෂණික පෙරළි කළේ. දැන් ඒ පරණ නටබුන් දිහා බලාගෙන තවත් උදම් අනන් නැතුව අපට අහිමි වෙලා ගිය තාක්ෂණය ගොඩනඟා ගන්න අපි ඇතුළෙ ඉන්න සහජ බුද්ධිමතා අවදි කර ගන්නයි අවශ්‍ය වෙන්නේ. අපේ බුද්ධිමය සම්පත, IQ එක මොනතරම් ඉහළ මට්ටමක ද යන තක්සේරුවක් අපේ රටේ මිනිස්සුන්ට තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ. ලෝකයේ තාක්ෂණික පෙරළියක් සිද්ධ වෙන මේ කාලෙදි ඒ තක්සේරුව ඉතාම ප්‍රායෝගික විදිහට රටට යොදා ගන්න පුළුවන්.

අද ලෝකය තුළ විද්ත් වාහන ඉතාම ලොකු පෙරළියක් සිදු කර තියනවා. අපි අලුත් වාහන විකිණීම ගැන කල්පනා කළොත් සියයට විසිපහක් තමයි විද්ත් වාහන අලෙවි වන්නේ. නමුත් 2030 වනවිට මේක සියයට හැත්තෑව තෙක් වර්ධනය වෙනවා. ඒ අනාගතය සම්බන්ධවයි අපි සැලසුම් කළ යුත්තේ.

මහේන්ද්‍රා තමයි E2O කියන ලෝකයේ පළමු ඉලෙක්ට්‍රික් කුඩා කාර් එක හැදුවේ. එයින් වාහන 72ක් වසර 2015දී මම මෙරට වෙළෙඳපොළට ගෙනාවා. එයට හොඳ ඉල්ලුමක් තිබුණා. ලංකාවෙම අලෙවි වුණා. මේ එක්ක විද්ත් වාහන ගැන අපිට ලොකු අවබෝධයක් ලැබුණා. ඒ වාහනයක තිබෙන ප්‍රධානම ගැටලුව බැටරිවල පැන නඟින ප්‍රශ්නය. කාලයක් යනකොට බැටරියේ ආරෝපණය දුර්වල වෙනවා. මේක පහුගිය කාලේ අත් වින්දා.

ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහනයක් දුන්නට පස්සේ ලංකාවට නිසාන් ලීෆ් වාහන ගෙන්නන්න එම සන්නාමයේ බලය ලත් ලාංකික අලෙවි නියෝජිතයාට මව් සමාගමෙන් අවසර ලැබුණේ නැහැ. ඒ, වාහනය නඩත්තු කිරීමේ තාක්ෂණික පසුබිම රට තුළ ගොඩනැඟී නැති නිසා. ඒ හේතුවෙන් රට තුළට ගෙනාව නිසාන් ලීෆ් වාහන සියල්ලම ගෙනාවේ පුද්ගලික ආනයනකරුවන්. ඒ නිසා නිසාන් ලීෆ් වාහනයට බැටරි සම්බන්ධව විශාල ප්‍රශ්න මතු වුණා.

නමුත් අපි ගෙන්වූ විදුලි වාහනය වෙනුවෙන් බැටරි එකලස් කර නිෂ්පාදනය කිරීම ලංකාව තුළ පටන් ගත්තා. ලිතියම් අයන් පොස්පේට් සෙල් එක චීනයෙන් ගෙනත් බැට්‍රිය හදලා බැට්‍රි කළමනාකරණ සැලැසුමක් හැදුවා. ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි එක්ලස් කිරීමේ යෝධ පියවර අපි තිබ්බා.

මේ ඉගනීමත් එක්ක තමයි අපි මෝක්ෂා විදත් වාහනය සැලසුම් කළේ. එහි එන්ජිම නිර්මාණය කිරීමේ තාක්ෂණය තවම අපට නැති නිසා එන්ජිම චිනයෙන් ගේනවා. ඒ හැරුණු විට මෝක්ෂා විදත් මෝටර් රථයේ සියයට 70ක අගය එකතු කිරීමක් සිද්ධ වෙන්නේ ලංකාවෙ. වාහනයේ වැදගත්ම කොටස වූ බැටරිය නිෂ්පාදනය කරන්නෙත් අපි.

ඉලෙක්ට්‍රික‍් වාහනයක තිබෙන වැදගත්ම දේ තමයි බැටරි කළමනාකරණ ක්‍රමවේදය. අපි කාර් එකකට දාන බැටරිය කාර් එකේ උෂ්ණත්වය යම්මට්ටමක වඩා වැඩි වුණොත් පුපුරන්න පුළුවන්. වාහනයේ වගේම පරිසර උෂ්ණත්වයට අනුරූපීව තමයි ඒ බැටරි කළමනාකරණය කරන්න ඕන. විශාල උෂ්ණත්ව පරාසවල විචලනය වන රටක බැටරි කළමනාකරණ ක්‍රමවේදය අපට ගැළපෙන්නේ නෑ. ඒක අපටම ආවේණික ක්‍රමයක් විය යුතුයි. අපි එය ලෝක ප්‍රමිතියට අනුව කරනවා.

අපේ වාහන භාවිත ස්වරූපය පිළිබඳත් සැලකිලිමත් විය යුතුයි. ලංකාවේ වාහන ලක්ෂ අසූපහක් තිබෙනවා. එයින් ලක්ෂ පනහක් යතුරු පැදි. ලක්ෂ පහළොවක් ත්‍රි රෝද රථ. ලක්ෂ 65ක් තියෙන්නේ මේ දෙක. අනිත් සියලුම වාහන ලක්ෂ 20යි. මුලින්ම රටේ විද්ත් වාහන සංස්කෘතිය ඇති කිරීමට පෙර ඒ සඳහා තාක්ෂණිකව සූදානම් විය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය විශාලම ශක්ති ප්‍රභවය බවට පරිවර්තනය කර ගත යුතුයි.

දැන් මොටර් සයිකල් සහ ත්‍රී රෝද වෙළෙඳපොළට මෙය ආදේශ කළොත් විද්ත් යතුරු පැදියක් චාර්ජ් කළොත් කිලෝ මීටර් 80ක් දුවන්න පුළුවන් යැයි හිතමු. ත්‍රි රෝද රථයක් කිලෝමීටර 125ක් දුවනවා නම් අපි විද්ත් පැත්තට ගියොත් ගෙදර තිබෙන කරන්ට් එකට ගහලා චාර්ජ් කළොත් මොකද වෙන්නේ.

අපි අද ඉන්නේ විදුලි අර්බුදයක. අපේ ජල විදුලිය 50යි. සියයට 30ක් 35ක් තෙල් පුච්චනවා. ඉන්ධන නවත්වලා ඉන්ධන දහනයෙන් හදන විදුලියෙන් විදුලි මෝටර් රථ දුවලා වැඩක් තියෙනව ද? සිද්ධ වෙන්නේ තවත් විශාල විදුලි අර්බුදයකට යෑම. ප්‍රායෝගික කළ යුතු වැදගත් දේ මේ දූෂිත රටේ තිබෙන විදුලි මාෆියාව බිඳ දමා වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කිරීමයි. එයට රාජ්‍ය අනුග්‍රහය ප්‍රමුඛව ලබා දීම. අඩු ආදායම් ලාභී පවුල්වලට අස්වැසුම වගේ ණය මුදල් නොදී ඔවුන්ගේ නිවෙස්වල වහල මත සූරිය පැනල හයි කර ජාතික පද්ධතියට ලබා දෙන විදුලිය සඳහා ඔවුන්ට මිලක් ලබා දීම. මේක පොඩි රටක්. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිලෝමීටර 450යි. මධ්‍යම කඳුකරයට හැර තුන්සිය හැටපස් දවසේම ඉර එළිය වැටෙන රට ගැන වෙනස් විදිහට කල්පනා කළ යුතුයි. එය කිරීමේ ශක්‍යතාව අපට තිබෙන බව ප්‍රායෝගිකව පෙන්වා තිබෙනවා.

අපේ වැලිපැන්න ප්ලාන්ට් එකේ වහලය මත මෙගා වොට් 1ක සෝලා පැනල් සවි කර තිබෙනවා. හරිත ආර්ථිකයට එක් වූ කර්මාන්තයක් විදිහට අපිට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රධානය කෙරෙන රන් පදක්කම පසුගියදා ලැබුණා. අයිඩියල් ගාෘප් එක ඇතුළේ ගොඩනැඟිලිවල වහලය මත තිබෙන සෝලා පැනල්වලින් මෙගාවොට් 05ක විතර විදුලියක් උත්පාදනය කරන්න හැකියි.

විදුලි වාහන නිෂ්පාදනයට සමගාමීව අපි සූර්ය බලශක්ති නිෂ්පාදනය කිරීමේ අඩිතාලම ද දමා තිබෙනවා. දැනට කටුනායක වෙළෙඳ කලාපයේ තිබෙන එකම එක සමාගමයි ලංකාවේ සෝලා පැනල්ස් නිෂ්පාදනය කරන්නේ. එහි අයිතිය ලබා ගන්න අපි දැන් විධි විධාන දමා තිබෙනවා. තව මාසයක් ඇතුළත අපි ඒ අයිතිය ලබා ගන්නවා.

බැටරි නිෂ්පාදන තාක්ෂණය හරහාම සූර්ය බල ශක්තිය සහිත නිවෙස්වලට බලශක්තිය හීනවන අවස්ථාවලදි භාවිත කිරීමට කිලෝ වොට් 5 -10 – 15 අගයන්වල පවර් බෑන්ක් එකක් අපි නිෂ්පාදනය කරනවා. ඊට අනුබද්ධ නිෂ්පාදන කරන ඉංජිනේරු සමාගමක් එක්ක අපි ගිවිසුම්ගතව වැඩ කරන්න සැලසුම් කර තිබෙන්නේ. “ඔහු කියන්නේ මේ රට සඳහා වන අනාගත සැලසුමකි.

අප දේශපාලනික මාතෘකා තනමින් රට තුළ විද්යුත් වාහන සංස්කෘතියක් පහළ කරන්නට හදන්නේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන සහිත ප්‍රායෝගික පරිසරය නිර්මාණය නොකරය. විද්යුත් වාහන සහිත සෑම නිවෙසකටම පුනර්ජනනීය බලශක්ති ඒකකයක් තහවුරු කිරීමේ රාජ්‍ය අනුග්‍රහය සහිත ජාතික වැඩපිළිවෙළකින් තොරව විද්යුත් වාහනවල අපේක්ෂිත සමාජ හා ආර්ථික ප්‍රතිලාභය නොලැබෙන අයුරු නලීන් වෙල්ගම අපට කියා දෙන්නේය.

ඒ වෙනුවෙන් දැක්මක් සහිත අරගලයක යෙදෙන මේ ව්‍යවසායකයා සිය ප්‍රථම විදුලි වාහනය ලක්ෂ 40කට අඩු මිලකට ලබන වසරේ ජනවාරි 24 වැනිදා රටට හඳුන්වා දීමට සූදානම්ය. එමෙන්ම උතුරු නැගෙනහිර වෙරළ කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් හඹා යෑමට රට තුළ සියයට සීයක අගයක් සහිතව නිෂ්පාදනය කළ විශේෂ ෆෝ වීල් වාහන තුනක් මේ වනවිට අයිඩියල් සමාගම නාවික හමුදාවට නිෂ්පාදනය කර දී ඇත්තේය. මේ වන විටට පොලිසියෙන් සහ යුද හමුදාවෙන් ද එම වාහනවලට ඇණවුම් ලැබී ඇති බව ඔහු පවසන්නේය. මම අවසාන වශයෙන් මේ මිනිසාගෙන් විමසුවෙමි.

ඔබ හිතනවද මේ රට ගොඩදාන්න පහසුවෙයි කියලා? “ඔව්… නිසැකවම. නමුත් ඒ වෙනුවෙන් පූර්ණ චින්තන පරිවර්තනයක් අවශ්‍යයි. ඉතාම සුබවාදී දේ තමයි එය දැන් සිද්ධ වෙමිනුයි පවතින්නේ.

මේ රට අපේ. ඉන්නේ මිලියන 22යි. මේක දාල අපි කොහෙ යන්න ද. අපිට තිබෙනවා සශ්‍රීක පොළොවක්, වටිනා බුද්ධියක් සහිත උසස් මානව සම්පතක්. ඉතින් ඇයි අපි අපේ පොළව ඇතුළෙම දූෂිතයො වෙන්නේ. බිලියන 34ක් ඉන්දියාවෙ මිනිස්සු ඉන්දියාවට ආදරෙයි. ඇයි අපි අපේ රටට ආදරය කරන්නේ නැත්තේ.

225ට බැණලා වැඩක් නෑ. අපි වෙනස් වෙන්නෙ නැතිව. සිතිවිලි වෙනස් වෙන්නේ නැතිව. ජාති ආගම් කුලවලට බෙදෙන්නේ නැතිව මේ රටේ ඉන්න මේ පුංචි ජනගහනය එක කොඩියක් යටතට එකතු වුණු දාට තමයි මේ පරිවර්තනය හරියටම එන්නේ. එදාට තමයි දේශපාලන අවශ්‍යතාවලින් තොරව ජාතික ප්‍රමුඛතාව මොකක් ද කියන එක පෙළ ගැහෙන්නේ. “

සිතිවිල්ලක දුරින් ඇති සංවර්ධිත රටක්. එය මොනතරම් ප්‍රාණවත් බලාපොරොත්තුවක් දැයි කල්පනා කරමි. තම නිෂ්පාදනයට වඩා වැඩි යමක් සමාජයට ලබා දිය හැකි ව්‍යවසායක පන්තියක් නිර්මාණය වෙමින් ඇති බව හැඟේ.

SILUMINA.LK