Press "Enter" to skip to content

කවදාවත් නැති තරම් ජීවිතේ බරපතළකමක් අද මට දැනෙනවා.. කසුන් ගැන මම මුලින්ම කිව්වෙත් අප්පච්චිට..

ජැක්සන් පවුල කලා අඹර ඒකාලෝක කළ අපුරු තරු පොකුරක්. ඒ නිසාම කටකතා වැහිවල තෙමීමත් මේ පවුලට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මේ දිනවල වැඩිපුරම කටකතා නිර්මාණය වන්නෙ මාධවී ඇන්තනීටයි. මේ කතාවල ඇත්ත නැත්ත දැන ගන්න අපි ඇයට කතා කළා.

කොහොමද මේ දවස් වල ජීවිතේ

ජීවිතේ සුබවාදීව ගත කරන්න උත්සාහ කරනවා. කොයි තරම් බාධක කම්කටොලු ආවත් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ආයෙත් ජීවත් වෙනවා කියලා දැන් දැනෙනවා. මොකද දැන් ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. ජීවිතේ අලුතින් ලියාගෙන යනවා.

කලා කටයුතු වල විස්තර කොහොමද

තුශාරි අබේසේකරගේ චන්දෝලි ටෙලිනාට්‍ය සතියේ දිනවල රාත්‍රී 7.30ට සිරස ටීවී ඔස්සේ විකාශනය වෙනවා. ඊට අමතරව මගෙ අලුත්ම ගීත නිර්මාණය වෙනුවෙන් මේ දවස්වල කැපවෙලා ඉන්නවා. එහි පද රචනය සහ රූප රචනය අධ්‍යක්ෂණය කරන්නේත් කසුන් මහේන්ද්‍ර හීනටිගල. එහි සංගීත අධ්‍යක්ෂණය තුසිත් සිම්සන් විසින් සිදු වෙන්නෙ.

කොහොමද ඔබේ අප්පච්චිට දැන්?

අප්පච්චි තමයි මගෙ ආදරේ. මගෙ හයිය. මම මොන දේ කළත් අප්පච්චි මාව පිළිගන්න බවට මට විශ්වාසයක් තිබ්බා. ඒක හැමදාම එහෙම වුණා. අවස්ථාවාදී බොරු කේලම්කාරයෝ කොටවන්න කතා කියලා තියෙද්දිත් අප්පච්චි මගෙත් එක්ක හිටගත්තා. අවසාන වශයෙන් අප්පච්චි චූටි මල්ලි සජිත එක්කයි කතා කළේ රෝහලේදී. ඒ මොහොතේත් කියලා තිබුණේ

“අක්කා හිටගන්න ඕනම තැනක එයා එක්ක හිටගන්න. අක්කගෙ ආර්ථිකය බලාගන්න“ කියලයි. මොකද අප්පච්චි දැනන් හිටියා අපි අසරණව නොගැළපෙන තැනක විඳවපු බව. මං විතරක් නෙවෙයි කාගෙවත් දරුවෙක් එහෙම දුක් විඳිනවාට අප්පච්චි කැමති වුණේ නෑ. අප්පච්චි මට කිව්වෙ “ජීවිතේ දිහා දුර රූපයෙන් බලන්න පුතා. එතකොට ළඟට හුඟක් වේදනාකාරී ලෙස පේන දේවල් ඒ තරම් දරුණුව දැනෙන්නෙ නෑ“ කියලා. ඒ වගේම මුල්ම කාලෙ යාළුවෙක් විදිහටත් කසුන් ගැන මම මුලින්ම කිව්වෙත් අප්පච්චිටයි. එයා කසුන්ගෙ දක්ෂකම් අගය කළා. නීතිවේදියෙක් වන කසුන්ගෙ කථිකත්වය, කවිකම, ගීත රචනය සහ දෘශ්‍ය අධ්‍යක්ෂණය ගැන ප්‍රශංසා කළා. එයාගෙ පද රචනා අප්පච්චි විචාරය කළා. ඒ කතා ඇතුළුව අප්පච්චි මා එක්ක කතා කරපු කටහඬ පටිගත කරලා තියාගන්න පුරුදු වෙලා හිටියා. හිතට තනිකමක් දැණුනාම ඒවා අහනවා. අදත් කඩන් වැටුණු තැන්වල අප්පච්චි ආයෙම කතා කරනකන් ඒවා මට මහමෙරක් වටිනවා.

පියාගෙ ලිවීමෙ හැකියාව වැඩිපුරම පිහිටා තිබෙන්නෙ ඔබට නේද?

මං විතරයි ඒ හැකියාව හදාරලා, පුහුණු කරලා තියෙන්නෙ. සමහරවිට මල්ලිලාටත් ඒ හැකියා ඇති. මම කුඩා කළ සිටමත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහාත්, කියවන්න ලියන්න පර්යේෂණ කරන්න ආසයි. ඒ වගේම කවි ලියන්න මම උත්සාහ කරලා තියෙනවා. ෆේස්බුක් එකේ කවි කිහිපයක් ලිව්වා මිසක් අප්පච්චි වගේ මමත් ලියවිල්ල කතුවර භූමිකාවේ සිට පුහුණු කරලා නෑ.

අලුත් පෙම් කතාවක් ලියන්නට සූදානම් වෙනවා කියලා ආරංචියි

ඒක හරියට වියළිලා ඉරිතළලා ගිය පොළොවකට මහ වැස්සක් වැස්සා වගෙයි. කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වාම ඔහුව හඳුනන පිරිසක් අද ලංකාවෙ ඉන්නෙ ඔහුගේ දක්ෂකම් නිසයි. කාලෙක සිට අපි හොඳ යාළුවෝ. ඉතිං මගෙ ජීවිතේ බිංදුවටම වැටුණු මොහොතක තමයි කසුන්ට මං ගැන හිතක් පහළ වෙලා මට යෝජනා කළේ. අද වෙනකොට අප්පච්චි ඇරුණාම මට ඉන්නෙ එයා විතරයි කිව්වොත් මම හරි. මොකද අප්පච්චිගෙ ප්‍රශ්නෙ ඇති වෙන වකවානුව තුළ මට පිටුපාලා මාව කොන් කරලා තනි කරපු අය තමයි මගෙ ළඟ හිටියෙ. අප්පච්චිත් අසනීප වෙලා නිහඬ වුණ තැන ඔහු මට වාරුවක් වුණා. සහනයක් වුණා. මේ ක්ෂේත්‍රය ගැන මං නොදන්න හුඟක් දේ කියා දුන්නා. මට මගෙ වටිනාකම කියා දුන්නා. ඉතිං මං හරිම සතුටින් එතැන නැවතුණා. ඇස් වහක් කටවහක් නෑ මට කවදාවත් නැති තරම් ජීවිතේ බරපතළකමක් අද දැනෙනවා.

විවිධ දක්ෂතා තිබෙන, බහු කාර්යයන් කරන කාන්තාවන්ව දරාගන්න ලොකු පිරිමි හදවතක් අවශ්‍ය වෙනවා කියලා කතාවක් තියෙනවා. ඔහුත් එවැන්නෙක්ද?

කසුන් මාව පියෙක් වගේ රැකබලාගන්නවා. නිරන්තරයෙන් හොයා බලනවා. මං ගැන තැවෙනවා. වුවමනා එපාකම් සපයනවා. ඒ වගේම උපදෙස් දෙනවා. අපිට අපේ ඇසුර ප්‍රියයි. ඵලදායී. එයා හරිම කතා කාරයෙක්. මම ආසයි ඒවා අහන් ඉන්න. බොහෝ විට ඒවා ඕපාදූප වල්පල් නෙවෙයි. හරවත් දේ. ආදරේ ගැන, ජීවිතේ ගැන, කලාව ගැන, දේශපාලනය ගැන, නිර්මාණ ගැන අපි හරියට කතා කරනවා. ඒ වගේම එයා “මගෙ දක්ෂතාවි“ කියලා මගෙ සුරුබුහුටිකම් අගයනවා. රණ්ඩු වුණත් නපුර හිතේ ධාරණය කරගන්නෙ නෑ. සමාව ඉල්ලන්න උද්දච්ච වෙන්නෙ නෑ. පාරට්ටු කරගන්නෙ නෑ. ආදරේ එහෙමයි. මගෙ අනන්‍යතාවය සුරකිනවා. කසුන් හැමවිටම කියන්නෙ එයා

“මෙසේ යා යුතු“ කෙනෙක් මිසක් “කෙසේ හෝ යා යුතු“කෙනෙක් නොවන වගයි. අප්පච්චි වගේම එයත් “වැඩේ හදා ගන්නවා මිසක් හිත හදාගන්නේ නෑ“. ඉතිං මම වැලක් විදිහට තාමත් දලුලන ඒ රූස්ස ගහේ එතෙන්න ආසයි. අපේ එකතුවෙන් ඉදිරියේදී නිර්මාණ ‍රැසක් බිහි වෙන්න නියමිතයි. ඒකීය මඟක එක අරමුණක් ඇතිව දිගු ගමනක් යන්න ආසයි. එයාගෙ හදවත කොරින්ති 13 තරම්ම අවංකයි. එයාගෙ එල්ලය එයාගෙ බැල්ම වගේම තීක්ෂණයි. මේ ඇරඹුම පමණයි. ගමන දුරයි.

නුදුරේදී විවාහ වීමට බලාපොරොත්තු වෙනවාද?

ජීවිතේ පිළිවෙළක් කරගන්න කවුද අකැමති? ඒත් ඒකට සමාජ ආර්ථික වපසරිය නිර්මාණය කරගන්න ඕනෙ. කෙසේ වෙතත් අපේ බැඳීම තුළින් දිගු නව නිර්මාණ චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබගෙ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම පශ්චාත් උපාධියට හැදෑරුවේ සංචාරක ආර්ථික විද්‍යාව. කාලෙක සිට ව්‍යාපාර කටයුත්තකට අත ගහන්න ඉන්නවා. මම ආසයි මගේ ස්වතන්ත්‍ර ගීත ප්‍රසංගයක් කරන්න. පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක් මේ වෙනකොටත් මම ලියා අවසන්. ඒවා ප්‍රකාශනය කරන්න අදහසක් තියෙනවා. ආචාර්ය උපාධිය ලබාගන්නත් කැමතියි. හෙට අදට වඩා එළිය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකීය ගමන් මඟක, ශක්තිමත් පවුල් ජීවිතයක් ගෙවන, ආදරණීය ගෘහයක් තනාගන්න, මව්වත් මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අප්පච්චි පූර්ණ සුවය ලබන දවසක් වෙනකන් බලාගෙන ඉන්නවා.

සිළුමිණ

More from CinemaMore posts in Cinema »