ලංකාවේ රංගන ක්ෂේත්රයේ නමක් දිනා සිටින දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නෙ. විවිධ චරිත හරහා ඇය රසිකයන්ගේ හදවත් තුළ ඉතාමත් ආදරණීය රංගන ශිල්පිනියක් බවට පත්වුණා කීවොත් නිවැරැදියි. මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට ඇයව නිර්දේශ වී තිබුණු අතර ඇය එම සම්මානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉතින් ඒ ගැන වගේම ශලනිගේ අලුත්ම කලා කටයුතු පිළිබඳ දැනගන්න අපි ශලනිත් එක්ක කතා කළා.
කොහොමද ඉතින්?
පහුගිය දවස්වල නම් ටිකක් අසනීපෙන් හිටියෙ. පුංචි මදුරුවෙක් දීපු තෑග්ගක් එක්ක තමයි මට 2023 අවුරුද්ද ආරම්භ කරන්න වුණේ. ඩෙංගු උණ හැදිලා අමාරුවෙලා පහුගිය දෙසැම්බර් 31 වැනිදා ඉඳලා මෑතක් වෙනකන්ම මම හිටියෙ රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබමින්. දැන් මේ වෙද්දි නම් මම සුවවෙලා නිවසට ඇවිත් විවේකයෙන් කාලය ගතකරමින් ඉන්නවා.
රංගන කටයුතු එක්ක විවේක ගන්න වෙලාවක් තියනවද?
ටෙලි නාට්‍ය කීපයක්ම භාර අරගෙන එක දිගට රංගන කටයුතු කරගෙන යමින් තිබුණෙ. ඩෙංගු මදුරුවා නිසා තමයි ඒවයින් පොඩි කාලයකට හරි ඈත්වෙලා විවේකයක් ගන්න ලැබුණෙ. දැන් නම් මගේ විවේක කාලය ඉවරයි. දැන් ආපහු රඟපාන්න යන්න කාලෙ හරි.
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයෙන් අයින් වුණා කියන කතාව ඇත්තද?
අසනීප වෙලා රූගත කිරීම්වලට යන්න බැරිවුණ නිසා පහුගිය දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ විකාශය වුණු කොටස්වල මම හිටියෙ නැහැ. පේන්න නැති නිසා ගොඩක් දෙනා හිතුවෙ ටෙලි නාට්‍යයෙන් මම අයින්වෙලා කියලා. මම පුංචි විවේකයක් ගත්තා විතරයි. ටෙලි නාට්‍යයෙන් අයින් වුණේ නැහැ.
අයින් වෙන්න හැදුවත් ඔබේ රසිකයො ඉඩදෙන එකක් නැහැ නේද?
ඇත්තටම ඔව්. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ මම රඟපාන ස්නේහාගෙ චරිතයට රසිකයෝ පුදුම ආදරයක් තියෙන්නෙ. ටෙලි නාට්‍යයේ මම පේන්න නැහැ කියලා ගොඩක් දෙනා කලබල වුණා. සමහරු කියලා තිබුණා මම නැත්තම් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ කියලා. ඒ අදහස්වලින් තේරුම් ගත්තා කවදාහරි මම අයින් වෙන්න හැදුවත් මට ආදරය කරන රසිකයෝ ඒකට ඉඩදෙන එකක් නැහැ කියලා.
ක්ෂේත්රයට ආපු මුල් කාලෙ දැකපු දඟකාර ශලනිව ආයෙත් දකින්න ලැබෙනවා…
මේ දවස්වල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘හීනයකි මේ ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ මම ටිකක් දඟකාර චරිතයක් රඟපාන්නෙ. පහුගිය කාලෙ මම වැඩිපුර රඟපෑවෙ ටිකක් බැරෑරුම් අභියෝගාත්මක චරිත. බරපතළ විදිහට හිතන්නෙ නැති, සැහැල්ලු, දඟකාර චරිතයකට දායක වුණේ බොහෝ කාලයකට පස්සෙයි.
ටෙලි නාට්‍යයවල සිද්ධ වෙනවා වගේ අත්හැරීම දරාගන්න බැරි සමාජයක්ද ලංකාවෙ ඇත්තටම තියෙන්නෙ?
රටේ අහන්න, දකින්න වෙන සිද්ධි දිහා බැලුවාම මටත් හිතෙන්නෙ අත්හැරීම දරාගන්න අමාරු සමාජයක් තමයි ලංකාවෙ තියෙන්නෙ කියලා. සමහර ඛේදජනක සිද්ධි දකිනකොට හිතෙනවා ටෙලි නාට්‍යයවල තියෙන කතා කොච්චර හොඳයිද කියලා. ආදරයේදි හිමිවීම වගේම අහිමිවීමත් පොදු දෙයක්.
මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඔබට sms කරන්න එපා කියලා කිව්වෙ ඇයි?
මට මනාපය පළ කරලා SMS එවන්න එපා කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් මම ඉල්ලුවා මාව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා. එහෙම කළේ මට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා. කාලයක් තිබුණා ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඒ හීන මම සැබෑ කරගත්තා. සම්මාන උළෙලෙවල් කීපයකදීම මම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වුණා වගේම සම්මානත් ලබා ගත්තා. දැන් මට ජනප්‍රිය කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැහැ.
ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙනයි මම ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ. මමම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් මගේ හිතේ නැහැ. තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න මම කැමතියි.
තවත් රංගන ශිල්පිනියක් ඉස්සරහට ආවාම ඔබේ තැන නැති වෙයි කියලා බය නැද්ද?
ඇයි බය වෙන්නෙ? මම මගේ හැකියාව විශ්වාස කරනවා. මට තරගය තියෙන්නෙ මාත් එක්කම මිසක් අනිත් රංගන ශිල්පිනියන් එක්ක නෙවෙයි. ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අනෙක් අය අතර ඉදිරියෙන් ඉන්නවට වඩා මට දැන් ඕන රංගනයේ වෙනස් ශානරයන් සොයාගෙන ගිහින් හැමෝටම දැනෙන අලුත් වෙනසක් කරන්න.
ඒ විදිහට වෙනස් රංගනයක් ඉදිරිපත් කරපු ටෙලි නාට්‍යයක් එන්නේ කවදාද?
පෙබරවාරි මාසයේ ඉඳලා ස්වර්ණවාහිනී නාළිකාවෙ විකාශය වන අක්ෂි ටෙලි නාට්‍යය කියන්නෙත් මගේ රංගන ජීවිතයේ වෙනස් අත්දැකීමක් කිව්වොත් හරි. කොල්ලෙක් වගේ අඳින පලඳින, හැසිරෙන, කතාබහ කරන, වත්තක ජීවත්වෙන කෙල්ලෙක්ගෙ චරිතයක් තමයි මම අක්ෂිවල රඟපාන්නෙ. හරියට කිව්වොත් කොලු භාගයකගෙ චරිතයක් ඒක.
බාධක මැද්දෙ ක්ෂේත්රයේ ආපු ගමන ගැන මොකද හිතන්නෙ?
මේ තාක් දුර ආපු ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා. හැබැයි බාධක, කැපිලි කෙටිලි, මඩගැහිලි නම් ඉස්සර වගේම තාමත් තියනවා. මම හිතන්නෙ වෙනත් ක්ෂේත්රවලට වඩා අනෙක් කෙනාව පල්ලෙහාට ඇදලා දාන්න වැඩිපුරම උත්සාහ කරන්නෙ කලා ක්ෂේත්රය තුළ කියලා. ඉස්සරහට යන්න යන්න බාධක, කැපිලි කෙටිලි වැඩිවෙනවා මිසක් අඩුවීමක් නම් නැහැ. ඒ හැම දේකටම හිතේ දහිරියෙන් මුහුණදීලා මගේ හැකියාව ගැන විශ්වාස කරගෙන ඉදිරියට යන උත්සාහයකයි මම ඉන්නෙ.
හැමදාම ලස්සන වෙලා ඉන්න එකේ රහස මොකක්ද?
මම රූපලාවණ්‍ය දේවල් පස්සෙ එළවන කෙනෙක් නෙවෙයි. කාටවත් වෛර කරන්නෙ, ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ඉන්න නිසා මගේ ලස්සන රැකිලා තියනවා කියලයි මම හිතන්නෙ.
ලංකාවෙ සමහර ගැහැනු ළමයි විලාසිතා කරන්න බයයි…
මම හිතන්නෙ ගැහැනු ළමයෙක් වුණාම තැනට ගැළපෙන විදිහට තමන්ව ලස්සනට පේන විදිහෙ විලාසිතා කරන්න ඕන කියලා. ඒ ආත්ම විශ්වාසයෙන් තමයි මම විලාසිතා කරන්නෙ. ගැහැනු ළමයෙක්ට විලාසිතා කරන්න තියන නිදහස බාහිර සමාජය, දෙමව්පියො, පෙම්වතා හෝ සැමියා සීමා කරනවා නම් ඒක සිදු නොකළ යුතු දෙයක් විදිහටයි මම දකින්නෙ.
මේ අවුරුද්දෙ විවාහ වෙනවා කියලා ආරංචියි?
විවාහ වෙනවා නම් මම කාටවත් නොකියා හොරෙන් විවාහ වෙන්නෙවත් පැනලා යන්නෙවත් නැහැ. හැමෝටම කියලා විවාහ මංගල උත්සවයක් අරගෙන තමයි විවාහ වෙන්නෙ. ඉදිරියේදි අපි ඒ ගැන බලමු.
විවාහ වෙන කෙනා ගැන කියන්න කැමති නැද්ද?
ඒක සර්ප්‍රයිස් එකක්. බඳින දාටම එයා ගැන කියන්නම්.
විවාහ වුණාට පස්සෙ ක්ෂේත්රයේ දිගටම ඉන්නවාද?
විවාහ වුණාට පස්සෙ කලා ක්ෂේත්රයෙන් අයින් වෙනවා කියලා තීරණයක් නම් දැනට අරගෙන නැහැ. හැබැයි මම වැඩි කාලයක් මගේ සැමියා වෙනුවෙන් සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. ඉදිරියේදි කලාවයි, පවුල් ජීවිතයයි අතරින් එකක් තෝරගන්න වුණොත් කලාව කැපකරලා පවුල් ජීවිතය තෝරගන්නවා කියන ස්ථාවරයේ මම ඉන්නවා.
විවාහ වුණාට පස්සෙ රංගනයෙන් අයින්වෙලා රට යනවා කියලා පහුගිය දවස්වල පැතිරුණු කතාව බොරුවක්ද?
මම ගැන කටකතා නම් ඕන තරම් තියනවා. මට තරම් කටකතා හැදිලා තියන නිළියක් මුළු කලා ක්ෂේත්රයේම නැතුව ඇති.
කටකතා නිසා ජනප්‍රියත්වය තව වැඩිවෙන එක නෙවෙයිද වෙන්නෙ?
බොරු අසත්‍ය දේවල් කටකතා විදිහට ප්‍රචාරය කරන එකයි මෙතන තියන ප්රශ්නය. පහුගිය දවස්වල මගේ විවාහය ගැන විවිධ ෆේස්බුක් පිටු සහ යූටියුබ් චැනල් අසත්‍ය තොරතුරු වගයක් පළ කරලා තිබුණා. ඒ තොරතුරුවලින් තමයි මම දැනගත්තෙත් පිටරටක ජීවත්වෙන කෝටිපතියෙක් එක්ක විවාහවෙලා මම රටයන්න සූදානමින් ඉන්නවා කියලා. මම ඒවට එෙවලේ ප්‍රතිචාර දැක්වූවේ නැහැ. හැබැයි මම විවාහ වුණු දාට අනිවාර්යයෙන් ඒවට ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අරුණ