Press "Enter" to skip to content

අවුරුදු 15න් ගුරුවරියක් වුන කළු පටි ශූරිය… කරාටි ඉගෙන ගන්නේ ගහන්න නෙවේ… දේශපාලනයට එන්න අදහසක් නැහැ

මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය අතරින් ‘කාසි’ කැපී පෙනෙන නිර්මාණයක් බවට පත්වී තිබෙනවා. මෙහි අභියෝගාත්මක චරිතයක් සාර්ථකව නිරූපණය කරන මිෂෙල් දිල්හාරා මේ දිනවල කා අතරත් ජනප්‍රිය මාතෘකාවක්. ඒ වගේම ඇය කරන සමාජ සත්කාර නිසාත් බොහෝ දෙනෙක් ඇය ගැන පසුවන්නේ දැඩි පැහැදීමකින්…

මේ ගතවෙන්නේ අමාරු කාලයක්.. ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති නිළියක් හැටියට ලංකාවෙන් යන්න හිතිලා නැද්ද…?

ඇත්තටම මට ඕන වෙලාවක රටෙන් යන්න පුළුවන්. නමුත් හැමදාම මම අභියෝගවලට කැමැතියි. පවතින ආර්ථිකය හොඳටම අමාරුයි. නමුත් අපි හැමෝම ප්‍රශ්න කිය කියා ඉන්නේ නැතිව එකතුවුණොත් ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

ඔබ නිතරම ජනතාවට උදව් කරන කෙනෙක්…

අපිට පුළුවන් දේ අපි කරන්න ඕන. පසුගිය දවස්වල රටේ ප්‍රශ්න එක්ක හැප්පෙන දුෂ්කර ජීවිතයක් ගෙවන මිනිසුන්ට හාල් ටොන් දෙකක් බෙදලා දුන්නා. පූජ්‍ය මහින්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තමා මේ කටයුතු කළේ. කටාන, දළුපොත, කුරුණෑගල, අනුරාධපුරය වැනි ප්‍රදේශවල ජනතාවට මේ උපකාර කළා.

දේශපාලනයට එන්නද මේවා කරන්නේ?

අපෝ නැහැ. පුංචි කාලේ ඉඳලම උදව් කරන්න, කෙනෙක්ට දෙයක් දෙන්න මම පුරුදු වෙලා උන්නේ. මගෙ දෙමාපියන්ගෙන් ලැබුණ හොඳ ගතිගුණයක් වෙන්න ඇති ඒක.

බොහෝ ජනප්‍රිය චරිත තැනකට එන්නත් ගාණක් ඉල්ලනවා. ඔබ මිනිස්සු ළඟට ගිහින් උදව් කරනවා…

මේ ජනප්‍රියත්වය මට ලැබිලා තියෙන්නේ මේ රටේ මිනිස්සු නිසා. ඉතින් ඔවුන් වෙනුවෙන් මමත් යමක් කළ යුතුයි. හැමෝටම මම ආදරෙයි. ඉස්සරහටත් මට පුළුවන් විදිහට ජනතාවට උදව් කරනවා. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මම මේ දේවල් කරන්නේ.

සමහරු තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා විවිධ දේ කරනවා…

මම සමාජ කටයුතු ආරම්භ කළේ නිළියක් වෙන්න කලින්. අවුරුදු 15දී මම ළමා නිවාසයක ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි උගන්වන්න යනවා. මොකද ඒ දවස්වල මට ආර්ථික ශක්තියක් නැහැ. නමුත් මගේ දැනුම භාවිත කරලා සමාජ ක්‍රියාකාරිනියක් වීම ආරම්භ කළා. මේ දේවල්වලට ගෙදරින් උදව් කළා.

එතකොට රංගනය තෝරගන්නේ?

උසස් පෙළ කළාට පස්සේ මම අනෝජා වීරසිංහ ගුරුතුමිය ළඟට ගිහින් රංගනය හදාරනවා. මම විශ්වාස කරනවා හැදෑරීමකින් පසු කරන දේවල් සාර්ථකයි කියලා.

නිළියක් වෙන්නමද හීන දැක්කේ?

ගුරුවරියක් වෙන්න කැමැත්තෙන් උන්නේ. හැබැයි අවුරුදු 15දී මම ඒ හීනය සැබෑ කරගත්තා.

ප්‍රථම රංගනය මතකද?

‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරි හැටියට තමයි රඟපෑවේ. බොහෝ ප්‍රේක්ෂකයන්ට මාව ඒ නමින් මතකයි.

දැන් නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?

දහසයක විතර.

හැම වෙලාවෙම චරිත තෝරනවා නේද?

මම නිතරම උත්සාහ කරන්නේ ප්ලේ කරන්න පුළුවන් චරිත තෝරගන්න. සමාජයට පණිවුඩයක් දිය හැකි චරිතයක් කරන්න තියෙනවා නම් මම බොහොම කැමැත්තෙන් ඒක තෝරගන්නවා. නොගැළපෙන චරිතයක් ප්‍රතික්ෂේප කරන්න කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ. මොකද මගේ හිතට එකඟ මට පුළුවන්, මම කැමැති දේ විතරයි මම කරන්නේ.

හැම චැනල් එකේම නොහිටියාට ඔබ අවුරුද්ද පුරාම ප්‍රේක්ෂකයා එක්ක ඉන්නවා නේද?

මම මුලදිත් කිව්වා වගේ දෙයක් කළ හැකි චරිතයක් විතරයි තෝරාගන්නේ. දාන දාන චැනල් එකේ ඉන්න ඕනේ නැහැ. හොඳ දෙයක් කළොත් මිනිස්සුන්ගේ හදවතේ හැමදාම ඉන්න පුළුවන්.

තාම ඔබට පාසල් යන සිසුවියගේ චරිතයක් වුණත් කරන්න පුළුවන්…

ඔබ එහෙම කියනවා නම් මට හරිම සතුටුයි. මමත් විශ්වාස කරනවා මට ඕනම වයස් පරාසයක චරිතයක් කරන්න පුළුවන් කියලා. ‘කාසි’ ටෙලි නාට්‍යයෙත් මම කරන්නේ ඒ වගේ අභියෝගාත්මක චරිතයක්.

කොහොමද ඔය පෙනුම තියාගෙන ඉන්නේ?

මම හිතන්නේ ක්‍රීඩාව නිසා තමා මේ ආකාරයට සිරුර පවත්වාගෙන යන්නේ. මම කරාටි ක්‍රීඩාවට යොමුවන්නේ හතර වසරේ ඉන්නකොට ආත්මාරක්ෂාව වෙනුවෙන් තමා යොමුවුණේ. කළු පටි පළමුවැනි ශ්‍රේණිය දක්වා කරාටි හදාරලා තියෙනවා. තාමත් මම ඉගෙන ගන්නවා.

කී දෙනෙක්ට ගහලා තියෙනවද?

කාටවත් ගහලා නැහැ. කරාටි ඉගෙන ගන්නේ ගහන්න නෙවේ, ආත්මාරක්ෂාවට. හොඳ ඉවසීමක් හදාගන්න. මම හිතන්නේ කෙනෙක්ගේ ජීවිතේට ක්‍රීඩාව නිසා ලොකු වටිනාකමක් ලැබෙනවා.

සටන්කාරියකගේ චරිතයක් රඟපාන්න ලැබුණේ නැහැ නේද?

තාම නම් නැහැ. ලැබුණොත් බොහොම කැමැත්තෙන් භාරගන්නවා.

ඔබට හොඳට ලියන්න පුළුවන්…

මම පොතක් ලිව්වා. තවත් එකක් මේ දවස්වල ලියනවා. මගේ පළමුවැනි පොතට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වූ තරුණ සමුළුවේදී National Youth lcon Award එක ලැබුණා. මගේ පොත බෙදාහරින්නේ Amazon සමාගම. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනාගාර 26ක මගේ පොත තියෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් අතර පරිසරවේදිනියක් හැටියට ඔබ Role Model එකක් වෙලා…

මම පරිසරයට හරිම ආදරේ කරන කෙනෙක්. රටවල් 192ක් නියෝජනය කරන ලොව ප්‍රධානම පරිසර සංවිධානයක ශ්‍රී ලංකා තානාපතිනිය හැටියට කටයුතු කරනවා. රජයේ විශ්වවිද්‍යාල 10ක වැඩසටහන් ව්‍යාපෘති 20ක් කළා.

තරුණියක් හැටියට ඇයි මෙහෙම වෙනස් දේවල් හොයන්නේ?

තාරුණ්‍යය හරි විදිහට පාවිච්චි කළොත් තමා අනාගතයට හරි දෙයක් ඉතිරි වෙන්නේ. ඉතින් මමත් කැමැතියි තරුණකම හරවත් විදිහට භාවිත කරන්න. විශ්වවිද්‍යාලවල තරුණ ළමයි එක්ක වැඩ කරනකොට පුදුම සතුටක් දැනෙන්නේ.

ජීවිතේ ෆේල් වෙච්ච තැන් තියෙනවද?

නැතුවාම නෙවෙයි.. හැබැයි අසමත් තැනින් තමා හරි පැත්තට වැඩේ දාගන්න පුළුවන්. දිවුලපිටියේ විශ්‍රාමික ප්‍රජා මධ්‍යස්ථානයක් හැදුවා. අවුරුදු 55 පහුවෙලා විශ්‍රාම යන තාත්තලා ගැන කවුරුවත් හිතන්නේ නැහැ. රැකියාව කරලා ගෙදර නතර වුණාම එයාලට ඒක මානසිකව දැනෙනවා. මොකද එයාලා සමාජයේ හිටපු අය. ඒ අයට මුණගැහෙන්න මධ්‍යස්ථානයක් තමා හැදුවේ. කොරෝනා නිසා ප්‍රශ්න ආවත් ඉස්සරහට වැඩේ නතර නොකර කරගෙන යන්න උත්සාහ කරනවා.

හම්බ කරන සල්ලි ඇතිද මේ දේවල් කරන්න?

මම හම්බ කරන මුදලින් 60%ක්ම යොදවන්නේ සමාජ සේවය සඳහා. මේක මම හරිම කැමැත්තෙන් කරන දෙයක්. මගේ හිත සැනසෙන්නේ මේ දේවල් නිසා තමයි.

‘කාසි’ චරිතය ගැනත් කියන්නකෝ…

විවිධ පරාස නියෝජනය කරන චරිතයක්. භූමිකා දෙකක් තුළ ජීවත් වෙනවා. මුල් කාලේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන බොළඳ චරිතයක්. නමුත් එක්තරා සිදුවීමක් නිසා ජීවිතේ වෙනස් වෙනවා. තමන්ට වඩා ගොඩක් වැඩිමහලු කෙනෙක් සමග විවාහ වෙලා වලව්වක ජීවත් වෙන්න වෙනවා. හරිම ආසාවෙන් කරපු චරිතයක්.

ඉදිරියේදී එන්න තියෙන නාට්‍ය මොනවාද?

ළඟදිම සුනිල් කොස්තා මහතාගේ ‘පනම් බඳින ගස්’ නරඹන්න පුළුවන්. ධනංජය සිරිවර්ධනගේ අලුත් නාට්‍යයකට ආරධනාවක් ලැබිලා තියෙනවා.

දැන් කලාවේ වයස කීයද?

අවුරුදු හතක් විතර වෙනවා රඟපාන්න ඇවිත්.

පුංචි තිරයේ ප්‍රේමවන්තියක් වෙන්න කැමැති නැද්ද?

එහෙම කියලා විශේෂයක් නැහැ. මට ලැබෙන චරිතය හරියට කරන්න උත්සාහ කරනවා. ‘පොදු’ ටෙලි නාට්‍යයේ ප්‍රේමවන්තියක් හැටියට රඟපෑවා.

ජීවිතේ පිළිවෙළක් වෙන්නේ කවද්ද?

මගේ ජීවිතේ හරිම පිළිවෙළයි. ඒකනේ කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ ගොඩක් කරන්නේ.

අපි අහන්නේ ආදරය, විවාහය ගැන…

ඒකත් මම මුලින්ම පිනිපලසට කියන්නම්. තාම මම මගේ සමාජ සේවා කටයුතු එක්ක ඉන්නේ. මගේ ජාත්‍යන්තර සංවිධානය සමග කටයුතු කරනවා. ඒ අරමුණු කරා යන ගමනේ අමතර දේවල් ඔළුවට දාගන්නේ නැහැ.

ඇයි මෙච්චර මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙන්නේ…

මනුෂ්‍ය ආත්මයක් ලැබුණ. ඒ සඳහා උපරිම සාධාරණයක් ඉටුකළ යුතුයි. මාව ජීවත් කරන්න මගේ දෙමව්පියන්ට පුළුවන්. හැබැයි අපි මේ ලෝකෙට මනුෂ්‍යයෙක් විදිහට ඇවිත් ඉන්නේ කාලා බීලා යන්න විතරක් නෙවෙයි. මේ රටට යමක් අපෙන් විය යුතුයි. මගෙන් විතරක් නෙවේ, අපි හැමෝම රටට දෙයක් කළ යුතුයි. එහෙම වුණු දවසකට මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මගේ කාර්යය උපරිමයෙන් කරනවා. අනිත් අය කරන නොකරන එක ගැන කිය කියා ඉන්නවට වඩා මගේ කොටස කරලා මේ රටට ණයකාරයෙක් නොවී ඉන්න උත්සාහ කරනවා.

-aruna

More from CinemaMore posts in Cinema »