Press "Enter" to skip to content

මම සමලිංගිකයෙක් නෙවෙයි…. ඒත් සමලිංගිකත්වයට විරුද්ධ නෑ… නිරුවත කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්…. ලිංගිකව එකතු වෙන්න කැමතිද කියලා හුගයක් අය මගෙන් ඇහුවා

දවස්වල සියත ටී.වී නාළිකාවෙ විකාශය වන රේස් 2 ටෙලි නාට්‍යය හරහා අපිට හරි අපූරු චරිතයක් මුණ ගැහෙනවා. ජයග්‍රහණය විතරක්ම තමන්ගෙ ඉලක්කය කරගෙන රේස් පදින මහීමා. නව පරපුරේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන පූජා වින්ඩි තමයි මහීමාගේ චරිතය මේ විදිහට ලස්සනට රඟදක්වන්නෙ. ඉතින් අපි හිතුවා පූජාගේ විස්තර දැනගන්න ඇයත් එක්ක ටිකක් කතා කරන්න…

ඔබ ගැන විස්තර ටිකක් කියමුද?

ම⁣ම පූජා වින්ඩි. පදිංචි වෙලා ඉන්නෙ මහනුවර. මේ වෙද්දි මට වයස අවුරුදු 23 යි.

රේස් 2 ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

රේස් 2 ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ගීතාංජන කොස්තා අයියා තමයි මට චරිතයක් තියනවා කියලා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ආරාධනා කළේ. ඒක මටත් අලුත් අත්දැකීමක් නිසා ගොඩක් කැමැත්තෙන් මම ටෙලි නාට්‍යය⁣ට සම්බන්ධ වුණා.

ඔබේ පළමු රංගනයම රේස් පදින තරුණියකගෙ චරිතයක් වීම අභියෝගයක් වුණේ නැද්ද ?

ඇත්තටම ඒක අභියෝගයක් වුණා. මට වාහන පදවලා පුරුද්දක් තිබුණෙ නැහැ. නමුත් අධ්‍යක්ෂකවරයාගෙයි නිෂ්පාදක කණ්ඩා⁣යමෙයි සහයෝගය මට ලැබුණා. දැන් මට වාහන පදින්න විතරක් නෙමෙයි තරගෙට ⁣රේස් යන්නත් පුළුවන්.

පූජාගේ කකුලෙ ගහලා තියන ටැටූ එක සමාජ මාධ්‍යවල හුඟක් ජනප්‍රියයි නේද?

හුඟ දෙනෙක් මේ ටැටූ එක ගැන මගෙන් අහනවා. රතු ඉන්දියානු තරුණියකගේ රූපයක් තමයි කකුලෙ මම ටැටූ කරලා තියෙන්නෙ. ටැටූස්වලට මම හුඟක් ආසයි. ඉදිරියේදි තව වෙනස් විදිහෙ ටැටූස් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් වුණාට ලොකු වැඩ කොටසක් කරපු නිරූපණ ශිල්පිනියක් නේද?

මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දි අවුරුදු දෙක හමාරක් වෙනවා. මේ කාලය ඇතුළත මම ගොඩක් මියුසික් වීඩියෝ සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල රඟපාලා තියනවා.

ඔබ පහුගිය කාලෙ තවත් නිරූපිකාවක් සමග සමලිංගිකත්වය තේමා කරගෙන photo shoot එකක පෙනී සිටියා. ඇත්තටම ඔබ සමලිංගිකයිද?

මම සමලිංගිකයෙක් නෙවෙයි. නමුත් මම සමලිංගිකත්වයට විරුද්ධ නැහැ. ඕන කෙනෙක්ට තමන් කැමැති ඕන පුද්ගලයෙක් එක්ක ජීවත්වෙන්න අයිතිය තියනවා. නමුත් ඒ අයිතිය ලංකාවෙ ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැතුව සමලිංගික පුද්ගලයන්ට අපහාස කරනවා. සමලිංගික පුද්ගලයන්ගේ ආදරය වෙනුවෙනුයි අපි ඒ photo shoot එක කළේ.

නිරුවත කලා නිර්මාණවල භාවිත වීම ගැන මොකද හිතන්නෙ?

මම හිතන්නෙ ගැහැනු පිරිමි භේදයකින් තොරව අපි හැමෝගෙම නිරුවත කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්. කලාවේදී නිරුවත භාවිත වීම මම දකින්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට. ඇත්තටම නිරුවත කියන්නෙ විඳින්න පුළුවන් ලස්සන දෙයක්.

නිර්මාණයකදී නිරුවත් ජවනිකාවක් රඟපාන්න ලැබුණොත් ඔබ එය භාරගන්නවද?

තවම මට එහෙම නිර්මාණයක් නම් ලැබිලා නැහැ. ඉදිරියෙදි ලැබුණොත් නිර්මාණයේ තත්ත්වය ගැන බලලා හොඳ නම් භාරගන්නවා.

කලා ක්ෂේත්‍රයේ වැඩ කරද්දි නවකයන්ට අයුතු යෝජනා එනවා කියලා අපි අහලා තියනවා. ඔබටත් එහෙම අයුතු යෝජනා ඇවිත් තියනවද?

එක රැයින් ජනප්‍රිය වෙන්න අවස්ථාව සලසලා දෙන්නම් කියලා ලිංගිකව එකතු වෙන්න කැමතිද කියලා අහපු අයුතු යෝජනා නම් ඕන තරම් තියනවා. මට ඒ විදිහට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මට ඕන මගේ හැකියාවෙන් හොඳ විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.

මේ වෙද්දි පූජා පෙම්වතියක්ද?

නැහැ. මම පෙම්වතියක් නෙවෙයි. මාව හොඳින් බලාගන්න අවංක පුද්ගලයෙක් හමුවුණොත් මම ඔහුට ආදරය කරයි. දැනට නම් මට එහෙම කෙනෙක් හමුවෙලා නැහැ.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?

මේ වෙද්දි රේස් 2 ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊ⁣ට අමතරව මම රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ කිහිපයක්ම ඉදිරියෙදි එන්න තියනවා. ඉදිරියේදි පැවත්වෙන අන්තර්ජාතික පැජන්ට් එකකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

-පිනිපලස

More from CinemaMore posts in Cinema »