Press "Enter" to skip to content

සමහර දේවල් සිද්ද නොවුනා නම් හොඳයි කියලා හිතෙනවා… මට ඕනේ දෙයක් දරා ගන්න පුළුවන්… හොඳම දේ ඒ දේවල් ගණන් නොගෙන පාඩුවේ යන එක… විනද්‍යා කාලෙකට පස්සේ කතාකරයි

කාවිනද්‍යාගේ වීඩියෝව මෙතනින්

කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ මේ වෙද්දී පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා. මේ කාලය ගත්තම එකිනෙකට වෙනස් වූ චරිත ත්‍රිත්වයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ නිසා මේ කතාබහ කලා දිවිය හා ඇගේ ජීවිතය ගැනයි…

කාවින්ද්‍යා මේ දවස්වල මොනවද කරන්නෙ…

මේ දවස් ටිකේ ලංකාවෙන් එළියට ඇවිත් ඉන්නෙ නිවාඩුවක් ගතකරන්න. පහුගිය ටිකේම ටෙලි නාට්‍ය කිහිපයක් එක්කම කාර්යබහුල වෙලා හිටිය නිසා හිතුවා පොඩ්ඩක් නිදහසේ කාලය ගතකරන්න ඕනේ කියලා.

කොහෙද ඉන්නෙ, කවදද ලංකාවට එන්නෙ…

ඇත්තටම කෙටි නිවාඩුවකට මැලේසියාවට ආවේ. කෝලම්කුට්ටමේ රූපගත කිරීම් තවම සිදුවෙනවා. ඒ නිසා එහි රූපගත කිරීම් පටන් ගනිද්දී ලංකාවට එනවා.

නාට්‍ය තුනක් විකාශය වෙනවා, කොහොමද එකිනෙකට ලැබෙන ප්‍රතිචාර…

ඔව්. සති අන්තයේදී විකාශය වනවා ඉන්දික ධර්මතිලක අයියාගේ මැස්සා ටෙලි නාට්‍යය. සතියේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයක් වන කෝලම්කුට්ටම සහ ස්වාධීන රූපවාහිනයේ විකාශය වන චන්දික විජේසිංහගේ ගගන පියවර කියන නාට්‍ය තමයි විකාශය වෙන්නේ. එකිනෙකට වෙනස් වූ චරිත තුනක්.

මැස්සා නාට්‍යයේ සලීමා කියන මුස්ලිම් තරුණියගේ චරිතය වෙනස්ම අත්දැකීමක්. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් හොයාදෙන්න ගිය තම පියාගේ මරණය නිසා අසරණ වනවා. පසුව සිය පියාගේ මරණයත් සමග පිය සෙනෙහස අහිමි තම සොයුරියන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදෙන්නට වෙහෙසෙනවා. ඒ වගේම පියාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් සොයන යුවතියක් වටා ගෙතුණ කතාවක්.

කෝලම්කුට්ටමේ සුද්දී කියන්නේ සාම්ප්‍රදායික වෙස් මුහුණු, රූකඩ කලාව වෘත්තීය කරගත් තම පියාටත් උදව් කරන කෙනෙක්. නමුත් ඇය සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නිදහසේ ජීවත් වීමට කැමති කෙනෙක්. ඒ වගේම සුද්දී කියන්නේ මගේ ජීවිතේ එක හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. මගේ තිබ්බ හීනයක් ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ප්‍රභාත් දර්ශන කැමරා කරන සහ සද්ධා මංගල සූරියබණ්ඩාර තිර පිටපත් රචනා කරන නිර්මාණයකට දායක වීම. ඒ නිසා කෝලම්කුට්ටම තුළින් ඒ හීනයත් සැබෑ වුණා. චන්දික විජේසිංහගේ ගගන පියවර නාට්‍යයේ චාපා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්ම චරිතයක්.

වෙනස් චරිතයක් මැස්සාහි තියෙන්නේ, කොහොමද ඒ අත්දැකීම…

ඇත්තටම සලීමා කියන මුස්ලිම් තරුණියගේ චරිතය අභියෝගයක් වුණු චරිතයක්. මම උපතින් සිංහල කෙනෙක්. ඒ චරිතය සාර්ථක කර ගන්න අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම දසුන් පතිරණ අයියාවත් මතක් කරන්න ඕනේ. ගොඩක් දේවල් ඒ අයගෙන් ඉගෙන ගනිමින් හැමෝගෙම උදව්වෙන් චරිතය මම ගොඩනගා ගන්නවා. මුස්ලිම් චරිතයක් වන සලීමාගේ චරිතය එහෙම නැත්නම් ඒ අභියෝගය මම ලස්සනට ජය අරගෙන තියෙනවා කියන දේ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් දැනෙනවා.

පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා, ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මේ කාලේ මම නිතරම නාට්‍යවලින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන කාලයක් වෙලා. ඉතින් මම හරි ආසයි ඒ ආදරේ ලබන්න. ඇත්තටම ආපු ගමන දිහා බලද්දී ලොකු සතුටක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. එහෙම අලුත් කෙනෙක් වෙලත් මට සැහීමකට පත්වෙන්න පුළුවන් නිර්මාණ ලැබිලා තියෙනවා. ඒ නිසා ආපු ගමන ගැන ලොකු සතුටක් තියෙනවා.

නිර්මාණයක් භාර ගනිද්දී මුලින්ම බලන්නෙ මොනවද?

තිර පිටපත කියවලා මම මුලින්ම හිතන්නේ ඒ ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා. එහෙම හිතලා තමයි මම නිර්මාණයක් භාරගන්නේ.

මගතොටේදි ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?

ප්‍රේක්ෂක ආදරය නම් මගතොටේදී නොඅඩුව ලැබෙනවා. සුද්දී, සලිමා සහ චාපා කියන නම්වලින් තමයි බොහෝ ප්‍රේක්ෂකයන් කතා කරන්නේ. ඒ අය නාට්‍ය බලන නිසා සහ මගේ චරිත ඒ අයගේ හිත ගත් චරිත නිසානේ චරිතේ නමින් මට කතා කරන්නේ. ඒකට මම ගොඩක් කැමතියි. ඒ ගැන සතුටක් තියෙනවා.

ජීවිතේ සුන්දරම වයසේ ඉන්නෙ, ආදරයක් හිතට දැනිලාද තියෙන්නේ…

මම මෑතක් වෙනකම් ම මම කිව්වේ මට ආදරවන්තයෙක් නැහැ කියලා. හැබැයි මම දැන් කියනවා මට ආදරවන්තයෙක් ඉන්නවා කියලා. මම හිතන විදියට මගේ ජීවිතේට හොඳම කෙනා හොඳම කාලේදී ඇවිත් තියෙනවා. ඒ නිසා මම දැන් නිදහසේ ආදරේ කරන නිදහසේ ආදරේ විඳින කෙනෙක්.

එයා ගැන විස්තර ටිකක් කියමුද?

එයාගේ නම බුද්ධික ජයවර්ධන. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්.

ළඟදීම විවාහය සිද්ධ වෙයිද?

විවාහ වෙන කාලය ගැන නම් තවම තීරණය කරලා නැහැ. ඒ වෙන්න ඕනේ දේවල් ඒ කාලවල්වලදී ඒ විදියට වෙයි.

වැඩිපුරම ඉන්න සමාජ මාධ්‍ය මොකක්ද?

ඉන්ස්ට්‍රග්‍රෑම්.

ජීවිතේ සිදුවුණ දෙයක් නොවුණා නම් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවාද?

සමහර දේවල් සිදු නොවුණා නම් හොඳයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. මොකද ජීවිතේ කාලෙන් කාලෙට සතුට දුක ප්‍රශ්න මේ හැමදේම එනවා. ජීවිතේට ප්‍රශ්න ආවා කියලා ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ ඒ හැමදෙයක්ම එන්නේ අපිට ජීවිතේ කියන්නේ මොකක්ද කියලා උගන්වන්න. ඒ හැමදේම තුළින් ජීවිතේ ඉගෙන ගෙන ලස්සනට ජීවිතේ ඉස්සරහට අරන් යන්න තමයි මම උත්සාහ කරන්නේ.

කාවින්ද්‍යා කියන්නෙ හිත ශක්තිමත් කෙනෙක්ද?

ඔව්. කාවින්ද්‍යාට ඕනේ දෙයක් දරා ගන්න පුළුවන්. කොච්චර වැටුණත් නැගිටින්න පුළුවන් කෙනෙක්. මම හිතන්නේ මට ඒ ශක්තිය හයිය ලැබිලා තියෙන්නේ මගේ අම්මගෙන්. මගේ අම්මා ගොඩක් හිත හයිය ගැහැනියක්. ඒ හයිය තුළින් තමයි මගේ හිතටත් ශක්තිය ඇවිත් තියෙන්නේ.

සෝෂල් මීඩියා හරහා පැතිරෙන කටකතා, ගොසිප් දකින්නෙ කොහොමද?

සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ ලංකාවෙ ඉන්න පිරිසෙන් ඉතාම සුළු පිරිසක්. ඉතින් ඒ සුළු පිරිසක් නගන චෝදනා, ගොසිප් මඩ ගැන හිතමින් ජීවිතේ ගෙව්වොත් අපිට ඉන්න වෙන්නේ එකම තැන. මොකද සෝෂල් මීඩියා හරහා අපි දිහා බලන් ඉන්නවට වඩා පිරිසක් අපි දිහා බලන් ඉන්නවා. මගේ ගෙදර අය, පවුලේ අය මගේ යාළුවෝ මගේ දිහා බලන් ඉන්නවා. ඒ අය මට ශක්තියක් වෙනවා. ඉතින් එහෙම තියෙද්දී ඇයි මම සෝෂල් මීඩියා හරහා පැතිරෙන දේවල් ගැන හිතමින් කාලය නාස්ති කරන්නේ. කාට වුණත් ගොසිප් හැදෙන්න පුළුවන්. හොඳම දේ ඒ දේවල් ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ ගමන යන එක.

අනාගත බලාපොරොත්තු මොනවද?

රංගනය පැත්තෙන් මම හැමදාම කියනවා වගේ මම ආස හොඳම කියන කැටගරි එකේ සම්මානයක් ගන්න සහ ඒ තැනට යන්න වැඩ කරන එක. දැනට ඉතින් රංගනය හදාරමින් පාඩුවේ මේ ගමන යනවා. ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු කවදත් මට නැහැ. ජීවිතේ සරලව සුන්දරව ඉස්සරහට ප්‍රශ්න නැතුව ලස්සනට සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න තිබුණා නම් මට ඒ ඇති.

නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නෙ?

ඒ ගැන ඇත්තටම සතුටුයි. මොකද මම ගොඩක් ආස දෙයක් තමයි ප්‍රේක්ෂක ආදරේ ලබන එක. ඒ ආදරේ මම ලබන්නේ නිළියක් වීම නිසානේ. ඒනිසා මට මගේ වෘත්තිය ගැන හරිම ආඩම්බරයි.

සිනමාවටත් දායක වුණා නේද?

ඔව්. මගේ පළමුවැනි සිනමා නිර්මාණය චාමර ජනරාජ් පීරිස් අයියා අධ්‍යක්ෂණය කළ ‘උතුරු සුළඟ’ චිත්‍රපටය. එහි වැඩකටයුතු මේ වන විට අවසන් වෙලා තියෙන්නේ. ළඟදීම සිනමාහල්වල තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබම කියන්න, කාවින්ද්‍යා කියන්නෙ කොහොම කෙනෙක්ද?

සාමාන්‍ය විදියට නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. අම්මට, තාත්තට, පවුලට ගොඩක් ආදරේ කරන ඒ වගේම ආදරේට ගොඩක් ආදරේ කරන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන හිත හයිය ගැහැනු ළමයෙක්.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන කියන්නේ මොනවද?

ඒ දෙන ආදරේට ගොඩක් ස්තුතියි. මම අද මෙතැන ඉන්නේ ඒ ප්‍රේක්ෂක ආදරේ නිසා. ඒ අය මගේ නිර්මාණ බලන නිසා තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියලා කෙනෙක් මේ කලාවේ පවතින්නේ. ඒ ආදරේ ගොඩක් වටිනවා. ඉතින් මට ඒ දෙන ආදරේට මමත් ගොඩක් ආදරෙයි. හැමදාමත් මගේ නිර්මාණ දිහා ආදරෙන් බලන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

-pinipalasa

https://youtu.be/nkfovjgfbPw

More from CinemaMore posts in Cinema »