Press "Enter" to skip to content

ඒ පාර මංජුලා කුමාරිගෙ පතළේ මැණිකට සහාය නළුවා ගේමක් දීලා…. අන්න දැන් කූඩුවේ…

වව්නියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි මංජුලා කුමාරි පෙරේරා යන අයගේ නියෝජිතයකු වූ සහාය ටෙලි නාට්‍ය නළුවෙකු ලග්ගල පොලිසිය පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින මිනුවන්ගැටේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නමැති අයෙකි. රංගන ශිල්පිනී මංජුලා කුමාරි පෙරේරා ලග්ගල දේවාලදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් සමග පතල් කැණීමේ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, රංගන ශිල්පිනියගේ නියෝජිතයා ලෙස පැමිණ ඇත්තේ සහාය ටෙලි නාට්‍ය රංගන ශිල්පියාය. ඔහු මාස ගණනක් තිස්සේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පවසා ඇත්තේ තමා වව්නියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බවය.

රංගන ශිල්පිනිය සමග පතල් කැණීමේ ගිවිසුම අත්සන් කරන ලද කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිලි කර ඇත්තේ පතලින් ලැබුණු නිල් මැණිකක් මෙම පුද්ගලයා වංචා සහගත ලෙස රැගෙන යෑමට උත්සාහ කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බව පවසමින් තර්ජනය කරන බවය. පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ ලග්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර දේවාලදෙනිය ප්‍රදේශයට ගොස් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ මැණික් ගල සහ ඔහු භාවිත කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස්භාරයට ගෙන තිබේ. සැකකරු සහ නඩු භාණ්ඩ ලග්ගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකාර ටෙලි නාට්‍ය සහාය රංගන ශිල්පියා පොලිසියට පවසා ඇත්තේ රංගන ශිල්පිනියගේ සැමියා සමග ඇතිවූ හිතවත්කමක් මත මෙම පතල බලා ගැනීමට තමාට භාරදී තිබෙන බවය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට කැඳවා තිබුණු බවද, එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පවා තමා වව්නියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බව ප්‍රකාශ කරමින් ඔහු පොලිසිය නොමග යවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

-aruna

More from CinemaMore posts in Cinema »