Press "Enter" to skip to content

ඒ දවස්වල ඒක ගැන එතරම් හිතුවෙ නැහැ.. ප්‍රශ්න ඇති නොවුණාමත් නෙවෙයි.. පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා.. එකම ක්ෂේත්‍රයේ එකම විදිහට යද්දි පොඩි පොඩි ඉරිසියාකම් ඇති වෙනවා

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන සාරංග මෙන්ඩිස්ගේ “සංගීතේ“ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ඉෂානිගේ චරිතයට පණ පොවන ඇය කලාවට පිවිසෙන්නේ රියැලිටි සංගීත වැඩසටහනක් ඔස්සේයි. හංසිනි විමල්සිරි වන ඇය අද රසඳුන කතාබහ සමඟ එක්වේ..

හංසිනි කොහොමද ඉතින් ජීවිතේ?

අම්ම කෙනෙක් විදිහට නම් ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි නාට්‍යයේ කටයුතු කෙරීගෙන යනවා. ටෙලි චිත්‍රපටයක පසුබිම් ගීත ගායනයට සම්බන්ධ වුණා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. තව ගීත කිහිපයක් ඉදිරියේ දී එන්න තියෙනවා. ඔය වැඩත් එක්ක තමයි මේ දිනවල කාලය ගෙවෙන්නේ.

ගායිකාවක් විදිහට කලාවට සම්බන්ධ වුණු ඔබ රංගන ශිල්පිනියක් වෙන්නේ කොහොමද ?

මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී අපේ අම්මා තමයි මගේ ඉල්ලුම් පත්‍රයක් දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි වැඩසටහනට යොමු කරන්නේ. ඒ 7 වැනි සීසන් එකේ. තරගාවලියේ ඉදිරියටම ගිහින් 9 වැනියා දක්වා ඇවිත් තමයි තරගයෙන් ඉවත් වුණේ. ඒ අතරතුර විශ්වවිද්‍යාල කටයුතු නම් අතපසු වුණා. ඒ කාලෙදිම මම දිලූක ගුණතිලකගේ නික්මයාම, ගිරිදුර්ග සහ හසුන කියන ටෙලි චිත්‍රපට 3ට සම්බන්ධ වුණා. හසුන රයිගම් ටෙලීස්වල හොඳම ටෙලි චිත්‍රපටයට තේරුණා. ඔය අතරෙදි තමයි සංගීතේ ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබෙන්නේ. රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරලා නැති වුණත් පාසල් වේදිකාවේ කළ නාට්‍ය ටවර්හෝල් දක්වා ආවා. සංගීතේ දෙරණ නිෂ්පාදනයක් නිසා බයක් නැතුව සම්බන්ධ වුණා.

ඔබට සහකරු මුණගැහෙන්නෙත් රංගනයේ දී කියලයි ආරංචිය?

ඔහු නවීන් දිල්ෂාන්. නවීනුත් රියැලිටි වැඩසටහනකින් කලාවට අවතීර්ණ වුණු කෙනෙක්. එයා සීසන් 5. එයත් 9 වැනියා දක්වා ආවා. අපි දෙන්නා අඳුනගෙන හිටියා. ඒත් අපි අතර සම්බන්ධයක් නම් තිබුණේ නැහැ. සංගීතේ නාට්‍යයට සම්බන්ධ වෙලාත් අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි අපේ දැන හැඳුනුම්කම ආදරයකට පෙරළුණේ.

එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක් වීම ගමනට බාධාවක් වුණේ නැද්ද?

ඒ දවස්වල ඒක ගැන එතරම් හිතුවෙ නැහැ. මෙහෙමයි ප්‍රශ්න ඇති නොවුණාමත් නෙවෙයි. එකම ක්ෂේත්‍රයේ එකම විදිහට යද්දි පොඩි පොඩි ඉරිසියාකම් ඇති වෙනවනේ. ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. නමුත් කාලයත් එක්ක, වයසත් එක්ක අපි පරිණත වෙද්දි , ජීවිතේ පදම් වෙනවනේ. තේරුම් ගැනීමත් එක්ක දැන් හොඳින් ඉන්නවා.

නිවසේ කරන භූමිකාවමයි ඔබට සංගීතේ නාට්‍යයෙත් කරන්න තිබුණේ. ඒ නිසා පහසුවක් වෙන්න ඇති?

ගොඩක් අය හිතන්නේ හස්බන්ඩ්, වයිෆ් වුණාම එකට රඟපාන්න ලේසියි කියලා. ඒත් මට නම් ඒක තමා අමාරුම දේ. අපි දෙන්නට නම් ඒක අපහසු වුණා. පවුල් ජීවිතවල සතුටින් ඉන්න දවස් තියෙනවා, තරහින් ඉන්න දවස් තියෙනවා. සතුටින් ඉන්න දවසක කැරැක්ටර් එකේ විදිහට එයාට බණින්න තියෙන්නේ. ඒකෙ අනිත් පැත්තත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ගෙදර ප්‍රශ්නයක් වෙලා තරහ වෙලා ඉන්න දවසක ගිහින් ආදරෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට ඉතින් අපහසුතාවට පත්වෙනවා. සමහර අවස්ථාවල එහෙම තරහින් ගිහින් යාළු වෙන අවස්ථාත් තියෙනවා. අනෙක් එක තමයි බබා අසනීප වුණොත් දෙන්නටම නිවාඩු දාන්න වෙනවා. එතකොට චරිත දෙකටම පාඩුවක් වෙනවා.

නවීනුත් දැන් සංගීතය අතෑරලා රංගනයට පිවිසිලා ද?

මං වගේම එයාත් රඟපෑමට යොමු වුණාට එයාගේ ඇඟෙත් දුවන්නේ සංගීතය. මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වීම තමයි එයාගේ එකම හීනය. මාත් රඟපාන්න ආස නැතුව නොවෙයි. ඒත් ගායනයට තමයි වැඩිපුර කැමැති. අපි දෙන්නම ඉගෙන ගෙන තියෙන්නේ සංගීතය. ප්‍රවීණ කියන පිරිස එක්ක මුහුවෙන ගමන් හොඳ චරිත ලැබුණොත් දිගටම රඟපාන්න කැමැතියි. මං සම්බන්ධ වුණු ටෙලි ෆිල්ම් පසුබිම් ගායනයේ මියුසික් ඩිරෙක්ටර් වුණේ නවීන්. නවීන් තමයි ඒකේ සංගීතය නිර්මාණය කළේ. එතකොට මට සතුටුයි. එයා සංගීතය නිර්මාණය කරද්දී මං ඒකට කටහඬින් දායක වුණා. තව ගීත නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම හොඳ චරිත ලැබුණොත් රංගනයත් සමබරව කරගෙන යනවා.

දෙන්නම එකම නාට්‍යයට සම්බන්ධ වුණාම එකම වෙලාවෙ ගෙදර නෑ. පොඩි බබෙක් එක්ක කොහොමද ඒ තත්ත්වයට මුහුණ දුන්නේ?

දැන්නම් බබාට අවුරුද්දක් වෙනවා. ඒත් පොඩි කාලේ බබාව දාල යන්න බෑ. ඒ නිසා අපි ෂූටින් තියෙන තැනට එක්ක ගියා. එයාලා අපට සෑහෙන්න උදවු කළා. අපට පහසු වෙලාවට වෙලාව වෙන් කරගෙන. මට බ්‍රේක් එකක් ලැබෙනකොට බබාව ගෙනැත් තියාගන්න තැනක් හදලා විශේෂ පහසුකම් දුන්නා. ඇත්තටම දෙරණ ටීවී එකට සහ විශේෂයෙන්ම සාරංග ප්‍රොඩක්ෂන් එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ.

රසදුන

More from CinemaMore posts in Cinema »