Press "Enter" to skip to content

රංගන ශිල්පිනියක් නොවුණා නම් මම අද බන්ධනාගාරේ.. මම වැඩිහිටියන්ට පමණයි නිර්මාණ භාර ගන්නේ නැහැ..

  • පවුල් පසුබිම සහ පවුලේ තිබුණු ආභාෂය එක්ක මම වැඩිහිටියන්ට පමණයි නිර්මාණ භාර ගන්නේ නැහැ
  • රංගන ශිල්පිනියක් නොවුණා නම් බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න තිබුණා

වෙළෙඳ දැන්වීම් හරහා කලාවට පැමිණ කටකාර දඟකාර පෙනුම නිසාම අද වෙද්දී රූපවාහිනී නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනා ගත් ධනංජි තාරුකා මේ දිනවල මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්ක මෙවර කතාබහකට සම්බන්ධ කර ගත්තා.

මේ දවස්වල වැඩිය රූපවාහිනී නාට්‍යය තුළින් දකින්න නැත්තේ ඇයි?

පසුගිය කාලේ මම ලොකුවට වැඩ කළේ නැහැ. ඒ නිසා තමයි මේ කාලයේ විකාශය වන නිර්මාණ තුළින් මාව දකින්න නැත්තේ. නමුත් දැන් වෙද්දී ආයේ වැඩ පටන් අරන් තියෙනවා. ඒ දේවල් නුදුරේම දැක ගන්න පුළුවන්.

පසුගිය කාලේ වැඩි කාලයක් වෙන් කළේ මොනවටද?

භ්‍රමණය සහ ලෝක ඩවුන් කියන ෆිල්ම් දෙකක වැඩ කටයුතු අවසන් කළා. ඒ එක්කම වේදිකා නාට්‍යය වලට තමයි මුල් තැන දීලා තිබුණේ. මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය වැඩි වශයෙන් වේදිකාගත වෙන කාලයක් නිසා. ඊට අමතරව ටෙලි ෆිල්ම් සහ ඒකාංගික කතා කිහිපයක් කළා.

මේ දිනවල වේදිකාවෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

ආරච්චි දීගේ වේදිකා නාට්‍යය මාර්තු 25 වෙනිදා වේදිකා වෙන්න නියමිතයි. ඒ එක්කම තව වේදිකා නාට්‍යය කිහිපයකම පුහුණුවීම් කරගෙන යනවා.

ධනංජි ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

මුල් කාලේ ඉඳන් ගත්තම නම් මේ 2023 වසරට අවුරුදු 15ක් විතර වෙනවා.

මේ කාලය තුළ කළ කි දේවල් ගැන ඔබ තෘප්තිමත් ද?

ඔව්. මම 2010 වගේ කාලයේ වෙළඳ දැන්වීම් වලින් මේ ක්ෂේත්‍රයට ඇවිත් ඊට පස්සේ නිරූපණ කටයුතු කරලා රංගනයට ආව කෙනෙක්. මම ඉතා කෙටි කාලයක් තුළ ටෙලි නිර්මාණවලට ආවා. මේ වෙද්දී සෑහෙන ටෙලි නාට්‍යය ප්‍රමාණයක්, වේදිකා නාට්‍යය, ෆිල්ම් සහ මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ දේවල් ගොඩක් ජනප්‍රිය වෙලත් තියෙනවා. අනිත් අතට මගේ ඩාන්සින් පැත්ත, රියලැටි ප්‍රෝග්‍රෑම් නිවේදන කටයුතු ඒ සියල්ලට සම්බන්ධ වෙන්න ලැබුණු නිසා මම ගොඩක් තෘප්තිමත්. මේ කාල සීමාව තුළ හැම අත්දැකීමක්ම විඳ ගන්න පුළුවන් වුණා.

රංගන ශිල්පිනියක් නොවුණානම් කවුරු වෙන්න තිබ්බද?

මම රංගන ශිල්පිනියක් නොවුණානම් බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න තිබුණා. මොකද මගේ තාත්තා න්ධනාගාර නිලධාරියෙක් නිසා මම හැදුණේ වැඩුණේ බන්ධනාගාර නිල නිවාසවල. මම උපන් දා සිට තාත්තාව බොහෝ වෙලාවට දැක්කේ ඒ නිල ඇඳුමෙන්. ඒ නිසා තාත්තා වගේ වෙන්න තමයි ආස කළේ. මම ඉගෙන ගත්තේ ඒ තැනට යන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගනිමින්. නමුත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අහම්බෙන් කලාවට ආවා. ඒකත් එක්ක මගේ තිබ්බ ආසාව මඟ හැරුණා.

බන්ධනාගාර නිලධාරිනියක් නොවී අද නිළියක් වීම ගැන සතුටුද?

ඔව්. ජීවිතේ ගොඩක් අත්දැකීම්වලට මුහුණ දෙන්න පුළුවන් වුණා. ලස්සන සුන්දර දේවල් වගේම විවිධ හැලහැප්පීම් බාධක කම්කටොළු මේ හැමදේම තියෙනවා. ඒ දේවල් නම් ඕනෙම ක්ෂේත්‍රයක තියෙනවා. අද ඉන්න තත්ත්වය එක්ක මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ නිර්මාණවලට ලැබුණු සම්මාන ඇගයීම් එක්ක හරි සතුටක් ලබනවා මේ ක්ෂේත්‍රයට එන්න ලැබීම ගැන.

රංගනයේ දී සීමාවන් තියෙනවද?

මම හැදුණු පවුල් පසුබිම සහ පවුලේ තිබුණු ආභාෂය එක්ක කොහොමත් මම වැඩිහිටියන්ට පමණයි නිර්මාණ භාර ගන්නේ නැහැ. පිටපතක් ලැබුණාම මට ගැලපෙන චරිතයක් ද කියන එක ගැන හිතනවා. ඒ විදියට බලලා මට ගැලපෙන මට සුදුසු චරිතයක් නම් මම කරනවා.

ජිවිතේ සහකරු විදියට තෝරා ගත් කෙනාත් අද නළුවෙක්?

මම විවාහ වෙද්දී එයා මේ ක්ෂේත්‍රයේ නෙවෙයි. එයාගේ ගෙදරට එහා පැත්තේ ගෙදරක තමයි අපි ශූටින් කරන කාලේ ලොජ් වෙලා හිටියේ. ඒ නිසා දැන හඳුනා ගැනීමත් එක්ක මුලින්ම මගේ හොඳ යාළුවෙක්. පස්සේ ඔය යාළුකම තමයි ආදරයකට පෙලඹිලා විවාහ වුණේ. මාව විවාහ වෙලා ප්‍රෝග්‍රෑම්වලට එද්දී තමයි එයාටත් රංගනයට ඇරයුම් ලැබුණේ. මුලින්ම නම් එයා කැමති වුණේම නැහැ. නමුත් මම එයාව වර්ක්ෂොප්වලට එක්කගෙන ගියා. දැන් නම් එයා එයාගේ ගමන යන්න මාර්ගය හදාගෙන තියෙනවා. එයාට දැන් නිර්මාණ ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

දෙන්නම එකම ක්ෂේත්‍රයක ඉන්න එක පහසුද?

ඔව්, ඒකත් පහසුවක්. දැනට නම් ගැටලුවක් වෙලා නැහැ. එහෙම කියලා එයා ගොඩක් වැඩ භාර ගන්නේ නැහැ. එයාගේ බිස්නස් වැඩත් එක්ක ලැබෙන විවේකය අනුව නිර්මාණ භාර ගන්නවා.

දෙන්නටම එක නිර්මාණයක් ලැබිලා නැද්ද?

ආදරවන්තයින් විදියට නම් ලැබිලා නැහැ. නමුත් අපි දෙන්නම රඟපාන නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා.

මේ කාලයේ දකින්න නැති නිසා ප්‍රේක්ෂක ආදරේ අඩුවක් තියෙනවද?

අනේ නැහැ. කොහේ දැක්කත් එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබනවා. මම කොහොමත් පවුල් ජීවිතේට මුල් තැන දීලා ඉන්න කෙනෙක්. ඒ නිසා තමා පසුගිය කාලයේ නිර්මාණ අඩුවෙන් භාර ගත්තේ. එහෙම කියලා ප්‍රේක්ෂක ආදරේ අඩුවක් නැහැ. ගොඩක් අය අතර මම ජනප්‍රියයි විසිල් ගහන නිළිය කියලා. සමහරු තාමත් මම කලින් කළ චරිතවල නම් වලින් කතා කරනවා. ඒ ගැන නම් තියෙන්නේ ලොකු සතුටක්.

පවුල් ජීවිතේට මුල් තැන දීලා ඉන්න නිසා අහන්න හිතුණේ, දෙන්නා තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද?

දැනට නම් නැහැ. මේ පෙබරවාරි 14 වෙනිදට අපි විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. ආදරේ කරන්න අරන් වසරකින් වගේ අපි විවාහ වුණේ. ඔය දේට රටේ තිබ්බ තත්ත්වය පවා සමහර තැන් වලදී බලපෑවා. මේ වෙද්දී එයත් මමත් නිර්මාණවලට දායක වෙලා ඉන්න නිසා අපි හිතුවා තව ටික කාලයක් ඉමු කියලා. හැබැයි ලොකු සැලසුම් නැහැ. එන්න ඉන්න කෙනා එන කාලයක එයි.

සිළුමිණ

More from CinemaMore posts in Cinema »