Press "Enter" to skip to content

මර්දනයට එරෙහි එකාබද්ධ ජනතා විරෝධය අද කොළඹට…!

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් විරෝධතාව සංවිධාන කර තිබේ.

විරෝධතාකරුවන් අද පස්වරුවේ මරදානේ සිට පාගමනින් කොටුව දුම්රියපොල දක්වා පැමිණ එහිදී ජනරැලියක් පැවැත්වීමට නියමිතය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වැනි සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුලු දේශපාලන පක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් සහ වෘත්තීය සමිති, බහුජන සංවිධාන 150කට ආසන්න සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට සහය පළකර ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ නොවේ.

විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසය.

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති හකුලා ගන්නා ලෙසත් නිදහස් අදහස් දැක්වීමේ නිදහස නැති කරන ආණ්ඩුවේ මර්දන වැඩපිළිවෙල අහෝසි කරන ලෙසත් විරෝධතාකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් සහාය
ආණ්ඩුවේ මර්දනයට එරෙහි විරෝධතාවට සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදෙකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක්ව අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

“මෙතන තියෙන්නේ පෙරටුගාමීන් කරන ත්‍රස්තවාදයක් නෙමෙයි.මෙතෙන තියෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක්. රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය භීෂණය, රාජ්‍ය හිංසනය. කවුරු මොන බාධක දැම්මත් අපිත් සූදානම් එල්ෆින්ස්ටන් සිට කොටුව දුම්රියපොළ දක්වා යන්න.” ඔහු පැවසීය.

විපක්ෂනායකවරයා අවධාරණය කළේ, “එන්න එපා නතර කරන්න.ඒවගේම ආරක්ෂක අංශවලට කියන්න කැමතියි ඇඟට අත තියන්න එපා.”

‘පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නොමැතිව බවත් පුනරුත්ථාපනය කළ යුතු වන්නේ රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්’ යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව අද පැවැත්වෙන විරෝධතාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සහභාගී වන බව පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදීව උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්‍ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් ජයසේකර සඳහන් කළේය.

“උද්ඝෝෂණයට , විරෝධතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සහයෝගය අනිවාර්යෙන්ම ලබා දෙනවා. වෘත්තීය සමිති මර්දනය, සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කිරීම ඇතුලු ආණ්ඩුව එන හැම කෙනාටම කඳුළු ගෑස් ගහලා මර්දනය කරනවාට අපි විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න” ඔහු පැවසීය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලීන් අවධාරණය කළේ සියලු පක්ෂ ප්‍රධාන කාරණ දෙකක් යටතේ ඒකාබද්ධ වී ඇති බවයි.

“ආණ්ඩුවේ මර්දනය නතර කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම අපි ඔක්කොටම එකඟ වෙන්න පුලුවන් ඉල්ලීම් දෙකක්.” ඔහු අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මොකද්ද?
ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ, “අපි දෙවැනි දා සහභාගිවෙන්න ඕනේ අවංක වුවමනාවකින් සටන් කරන මිනිස්සු, සටන් කරනවා නම්”.

ඔහු පෙන්වා දුන්නේ, “මේ සටන් කරන්නේ අවස්ථාවාදීන්. මේක සටනක් නෙමෙයි”

වසන්ත මුදලිගේ සහෝදරයාවයි, සිරිධම්ම හාමුදුරුවොයි බේරගන්න කියලා සටනකට එනවා , ජාතික සම්පත් විකුණනන්න පාර්ලිමේන්තුවේ සද්ධ නැතුව ඉන්නවා. මොකද්ද ඒ සටන? ඔහු විමසා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත සටන්කාමීත්වය සහ ප්‍රචණ්ඩත්වයේ වෙනස පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණි.බොහෝ දෙනෙකු සැක මතු කර තිබුණේ එය අද දිනයේ විරෝධයට ජවිපේ සහභාගී නොවීම ගැන කරන වක්‍ර ප්‍රකාශනයක්ද යනුවෙනි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුවහොත් රටට බරපතල ප්‍රතිවිපාක

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අද (නොවැම්බර් 2 වැනි දා ) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමනට අවසර ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය නීති විරෝධී ලෙස දැනුම් දී ඇති බවට වෘත්තිය සමිති බහුජන සංවිධාන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කර ඇත .

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ, මෙහිදී පොලිස් ආඥා පනතේ 77 වැනි වගන්තිය ප්‍රකාරව මෙලෙස සාමකාමී විරෝධතා පාගමනට අවසර ලබා ගන්නා ලෙස පොලිසිය දන්වා ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙහිදී අවධාරණය කරන්නේ පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බව මෙහිදී පොලීසිය වෙත සිහිපත් කරනු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේය.

උපුටා ගැනීම BBC සිංහල

Published in Gossip and Political