වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 05 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.
ඒ මේ වන විට වාහන ආනයනය අත්හිටුවා තිබීම හා වසර දෙකකට ප්‍රමාණවත් තරම් රට තුළට වාහන ආනයනය කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැවසීමත් නිසාය.
කුඩා වාහන සේල් කරුවන් ඔවුන් සතු වාහන කිහිපය හැකි උපරිම මිලට විකුණා ඒවා වසා දැමීමටත්, දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන් එම වාහන සඟවා මිල ගණන් කෘත්‍රිමව ඉහළ දමීමටත් මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
එසේම ලියාපදිංචි නොකළ වාහන පමණක් අලෙවි කළ ඇතැම් වාහන සේල් මේවන විට ලියාපදිංචි වාහන විකිණීමට පටන්ගෙන තිබේ.
මීට පෙර රුපියල් ලක්ෂ 60-70 ට අලෙවි කළ වාහනවල මේවන විට මිල රුපියල් ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා ඇතැයි ද පැවසේ.
කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව ආර්ථික විශ්ලේෂකයෝ කියති.
එබැවින් දැනට මෙරටට ආනයනය කර අලෙවි නොකර ඇති වාහන සම්බන්ධයෙන් වහාම සංගණනයක් කරන ලෙසට පිරිසක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.