“කොරෝනා වෛරස් තත්ත්වය රට තුළ මේ විදිහට පාලනය කරගන්න පුළුවන් වුණේ ආයුර්වේදයේ නිෂ්පාදනය කරපු ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ රට පුරාම ගිහින් ජනතාවට බෙදපු නිසා” යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය පී. හේවගේ මහතා කියයි.
එසේම ප්‍රතිශක්තිකරණය වැඩිකරන දේශීය කසාය පැකට්ටුවකුත් ජනතාවට ලබාදුන් බවත්, පවසන ඒ මහතා එම කසාය පැකට්ටුව දින 21 ක් පානය කිරීමෙන් ඕනෑම වෛරස් රෝගී තත්ත්වයකට ශරීරය ඔරොත්තු දීමේ හැකියාව ඇතැයිද කියා සිටී.
දිවයින් පුවත්පතට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහරක් අය නොදන්නා බවත්, මේ ගැන දන්න අය ඒ ගැන මතක් කරන්නෙවත් නැතැයි ද ඔහු චෝදනා කර සිටී.
”දැන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න පිරිස්, නිරෝධායනය වූ පිරිස් සහ ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම අපට භාරගන්න පුළුවන්. ඒ වගකීම අපිට භාරදෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. අපේ දක්ෂ පාරම්පරික වගේම දක්ෂ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 3000 කට වැඩි ප්‍රමාණයක් සේවයේ යෙදී සිටිනවා….”යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපතිවරයා කියා සිටී. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී ”අද රටේ ජනතාව දේශීය වෙදකමට යොමුවෙලා. එදා බොහෝ දෙනෙක් පානය කරපු ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් අද කොරෝනා තත්ත්වයත් එක්ක වැඩි වැඩියෙන් පානය කරන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ දේශීය ආයුර්වේද පානයන් වන මෙන්න මේවා අපේ ජනතාව වැඩි වැඩියෙන් පානය කිරීම නිසා ඔවුන්ගේ ශරීර මේ වෛරසයට මුහුණ දිය හැකි ආකාරයට හැඩගැහිලා තිබෙනවා. ”අපි තව දෙයක් කළා. මේ කොරෝනා හේතුවෙන් ගෙවල්වල ඉතා කනස්සල්ලෙන්, ආතතියෙන් ඉන්න පිරිසට ස්වසන අභ්‍යාස වැඩසටහනක් සහ යෝග ව්‍යායාම් වැඩසටහන් කළා. ඒ වගේම ඔවුන්ව අපි දැනුවත් කළා. අදටත් ඒ කාර්ය අපි කරනවා. ”මේ කොරෝනා මර්දනය සඳහා දේශීය ආයුර්වේදය තුළින් විශාල දායකත්වයක් ලැබුණු බව කියන්න ඕනෑ. නමුත් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වත් කතා කළේ නැහැ. 3000කට අධික අපේ දක්ෂ ආයුර්වේද වෛද්‍ය කණ්ඩායමක් ඉන්න බව කියන්න ඕනෑ.
srilankamirror.com