ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු තමන්ව බේරාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.මෙම නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේදුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා පවසයි.
නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් පමණ බවත් ලෝක සවාරියක් යාමට නෞකාව පසුගිය ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ටේ්රලියාවේදි නවතා දැමීමට සිදු වූ බවත් ඔහු පැවැසීය.
ලෝකයේ කිසිදු රටක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් එම නෞකාව ගමන් ආරම්භ කර සිටින බවත් ඔහු පැවැසීය.
මේ වන විට දින 25 ක කාලයක් මෙම නෞකාවේ සියලු දෙනාම රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙම නැවෙන් වාර්තා වී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් එහි රැදි සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.
මේ අවස්ථාවේදී තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවයි මෙම තරුණයා කියා සිටින්නේ.