Press "Enter" to skip to content

දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කළ සැකකරුවෙකු සෙවීමට මහජන සහය පතයි

13 හැවිරිදි බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන සැකකරුවෙකු සෙවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි.

ඒ අනුව, මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ 0112779196 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසුවේ, පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තැත් කළ අවස්ථාවේදී ඔහු පළා ගොස් තිබූ බවය.

වින්දිත දැරිය ජනවාරි 11 වන දා සැකකරුට අයත් නාරම්මල, මැටියගනේ ප්‍රදේශයේ පිහිටි නිවෙසේ සිටියදි මුදාගෙන රෝහල්ගත කර තිබිණි.

අදාළ දැරිය පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දා මුල් වරට පැහැරගෙන ඇති අතර ඇය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇයගේ දෙමව්පියන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත.

පසුව සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිසිය විසින් එය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත භාර දී තිබේ.

“මෙම දැරිය දෙසැම්බර් මස 25 වන දා අයෙත් නිවස වෙත ඇවිත් තිබුණා. පසුව ප්‍රතිකාර සඳහා දැරිය රෝහල්ගත කරලා 30 වන දා රෝහලෙන් පිට වෙලා ආවට පස්සේ එදින ම ඇයව නැවත පැහැරගෙන ගිහින් තිබුණා. මේ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පත් කරපු නිලධාරියෙක් ජනවාරි 6 වන දා අධිකරණයට දී මේ ගැන විමර්ශන කරන්න භාර ගත්තා.

අදාළ දැරිය ජනවාරි 11 වන දා සැකකරුගේ නිවසේ සිටියදී හොයාගන්න පොලිසියට හැකි වුණා. ඒත් සැකකරු එම අවස්ථාවේදී පලා ගිහින් තිබුණා,” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය.

බාල වයස්කාර දැරියක සඟවා තබා ගැනීමට අනුබල දී නීති උල්ලංඝණය කිරීම සමබන්ධයෙන් සැකකරුගේ දෙමව්පියන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

මුදිත විදානපතිරණ මහතා පැවසුවේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 33-36 වගන්ති යටතේ මේ පිළිබඳව විමර්ශනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු පත් කර ඇති බවය.

ජාතික ළමා ආරක්ෂ අධිකාරිය සැපයූ සැකකරුගේ ඡායාරූපය පහතින්…

More from GossipMore posts in Gossip »