එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි සහ ලබන වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටි ෂෙනාල් රදීශ් අධිකාරී නමැති 5 හැවිරිදි පිරිමි දරුවෙකු, අද (29) පස්වරුවේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලීසිය පවසයි. මව විදේශ රැකියාවක නිරතව සිටීම හේතුවෙන් ආච්චි සහ සීයා භාරයේ හැදී වැඩුණු මෙම දරුවා, ආච්චි, සීයා සහ 9 හැවිරිදි බාප්පා සමඟ ආච්චිට අයත් කුඹුරේ තක්කාලි වගාව වෙත ගොස් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.
තක්කාලි වගාවට මීටර් 300ක් පමණ දුරින් සීයා වතුර මෝටරයක් සවි කරමින් සිටින අතරතුර, අසල වූ අනාරක්ෂිත වගා ළිඳ ළඟ තිබූ අඹ ගසකින් වැටුණු අඹ ගෙඩියක් අහුලා ගැනීමට දරුවා ගොස් ඇති අතර, එය නරක් වී ඇති බව පවසා නොගන්නා ලෙස සීයා දරුවාට දැනුම් දී මෝටරය ක්‍රියාත්මක කර ඇත. පසුව දරුවා තක්කාලි කොටුව දෙසට යන්නට ඇතැයි සිතූ සීයාට දරුවා එහි නොසිටීම හේතුවෙන් ඇති වූ සැකය මත සොයා බැලීමේදී, අඩි 10ක් පමණ ගැඹුරු වගා ළිඳේ ගිලී සිටි දරුවාව හමු වී ඇති අතර, වහාම එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






