ඇමෙරිකාවේ Pfizer සමාගම නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් සතියකට පසු කැලිෆෝනියාවේ හෙද නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ, ශරීරය තුළ එන්නතට අදාළව ප්‍රතිශක්තියක් නිර්මාණය වීම සඳහා සතියක කාලයක් ප්‍රමාණවත් නොවන බවය.
45 හැවිරිදි මැතිව් ඩබ්ලිව්. නමැති එම හෙද නිලධාරියා තමන් දෙසැම්බර් 18 වන දා Pfizer එන්නත ලබා ගත් බවට ෆේස්බුක් සටහනක් තබා තිබිණි. පසුව ඔහු ABC පුවත් සේවයට පවසා තිබුණේ, එන්නත විදීමෙන් පසු සිය අත දිනයක කාලයක් ඉදිමී පැවතුණු අතර වෙනත් අතුරු ආබාධයක් ඇති නොවූ බවටය.
කෙසේ වෙතත්, දින 6කට පසු ඔහු රෝගී තත්ත්වයට පත්වී තිබිණි. පසුව ඔහුට මස්පිඩු වේදනාව සහ අධික තෙහෙට්ටුව යන රෝග ලක්ෂණ මතු වී ඇත.
ඒ අනුව, ඔහු කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර, එහිදී ඔහුට කොවිඩ් – 19 වැළඳී ඇතැයි තහවූරු වී තිබේ.
කෙසේ වෙතත්, සැන් ඩියෙගෝහි පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ක්‍රිස්ටියන් රේමර්ස් ABC පුවත් සේවයට පවසා ඇත්තේ, අදාළ හෙද නිලධාරියාගේ රෝගී තත්ත්වය අනපේක්ෂිත තත්ත්වයක් නොවන බවය.
“මේ එන්නත සම්බන්ධයෙන් කළ සායනික පර්යේෂණවලදී දකින්න ලැබුණා එන්නතේ ප්‍රතිශක්තිය ආරම්භ වෙන්න දවස් 10 සිට 14 දක්වා කාලයක් ගත වන බව,” ඔහු පැවසීය.
“එන්නතේ පළමු මාත්‍රාවෙන් ලැබෙන්නේ 50%ක ප්‍රතිශතයක්. දෙවන මාත්‍රාවෙන් තමයි 95%ක් දක්වා ප්‍රතිශක්තියක් අපේක්ෂා කරන්නේ,” ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.






