Press "Enter" to skip to content

‘කොරෝනා සමයේ කොළඹින් පැමිණි පිරිසක් දකුණේ හැංගිලා’

කොරෝනා වසංගතය අවදානම් සහිත ප්‍රදේශවල සිට ඇතැම් පුද්ගලයන් දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් මේ පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

රටේ ඇඳිරි නීතියක් හෝ හදිසි නීතියක් නොමැති නිසා ඕනෑ ම ප්‍රදේශයකට සංචරණය කිරීමට බාධාවක් නොමැති වුව ද අවදානම් සහිත ප්‍රදේශවල සිට පැමිණ මෙම ප්‍රදේශවල පදිංචිව සිටින පුද්ගලයන් සොයා බැලීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔහු පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ ද කීවේය.

“කොරෝනා වසංගතය වැඩිපුර තියෙන ප්‍රදේශවල සිට මේ පළාතට ඇවිත් පදිංචි වෙලා ඉන්න පුද්ගලයන් රෝග වාහකයන් වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙන් සෞඛ්‍ය බලධාරීන්ට අවදානම් තත්ත්වය පිළිබඳ යම්කිසි තක්සේරුවක් ගන්න පුළුවන්. කොරෝනා ආසාදනය වී ඇති මූලාශ්‍රය සොයා ගැනීම ඉතා ම පහසු වෙනවා. ආරක්‍ෂිත පියවර අරගෙන තීන්දු ගන්න ඉතා පහසුයි. කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තමයි මේ තොරතුරු රැස් කරන්නේ. නැතිව පුද්ගලයන්ගේ සංචරණ සීමාවලට බාධාවක් ඇති කරන්න අපිට අවශ්‍ය නැහැ,“ ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.

“ගාල්ල නාගරික බල ප්‍රදේශයේ විශාල වශයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ කර තියෙනවා. ඒත් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වෙලා තියෙන්නේ කොළඹ නගරය ඇතුළු අවදානම් සහිත ප්‍රදේශවල සිට ගාල්ල ප්‍රදේශයට පුද්ගලයන් සංචරණය කිරීම නිසයි. මේ නිසා අවදානම් දිස්ත්‍රික්කවලින් මේ ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන්ට තාවකාලිකව හෝ සංචරණ සීමා පැනවිය යුතු වෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණවලදී අලුත් පොකුරු හමුවෙනවා. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ මිලිද්දුව පොකුර තමයි මේ ව්‍යාප්ත වෙමින් යන්නේ. දෙද්දුගොඩ උතුර ප්‍රදේශයේ බේරුවල ප්‍රදේශයේ සිට පැමිණි පවුලක් පදිංචි වෙලා ඉන්නවා. ඔවුන් මීට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වෙලා ඉඳලා තියෙනවා. කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනය වීමට හේතුව අවදානම් ප්‍රදේශයක සිට පැමිණි වෛද්‍ය සිසුවියක්. සංචරණ වෙළෙඳාම් කරන පුද්ගලයන් දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්කවලට මාරු වීම ගැටලුවක්. ඇතැම් ආයතනවල සේවය කරන පුද්ගලයන් පී.සී.ආර්. පරීක්‍ෂණ කර ඒවායේ ප්‍රතිඵල ලැබීමට පෙර තවත් ප්‍රදේශයකට පැමිණ පදිංචි වෙලා ඉන්නවා. ඒ නිසා හමුදාව, පොලිසිය හා බුද්ධි අංශ යොදවලා වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ සිටින පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගත යුතුයි.“

ඒ සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කළ හැකි බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »