ධනංජය ද සිල්වා කවුරුන්ද යන්න රටම දනී. ඒ ඔහු මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජනප්‍රිය ක්‍රීඩකයකු සහ වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නිසාය. එලෙසම ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සචිත්‍ර ද සිල්වා නොහොත් සංගු ද විටින් විට මෙරට ජනප්‍රිය චරිතයක් බවට පත්වේ. ඒ විවිධ අවස්ථාවන්වලදී ඔහු ඇතිකර ගන්නා, මුහුණ දෙන විවිධ සිද්ධීන් හේතුවෙනි. එලෙසම ඔහු ගල්කිස්ස, දෙහිවල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද වේ.
පසුගිය සතියේ දිනක යළිත් වරක් සචිත්‍ර ද සිල්වා නොහොත් සංගු මෙරට බහුතරයකගේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්විය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු තම ගම් පළාතේම පිරිසක් සමග ඇතිකර ගත් ගැටුමක් නිසාවෙනි. එම සිද්ධිය සැකවින් මෙසේය.
දිනය පසුගිය දස වැනිදාය. හිරු අවරට ගොස් රාත්‍රිය උදාවෙමින් තිබුණි. එම අවස්ථාවේ සවිත්‍ර ද සිල්වා නොහොත් සංගු රත්මලාන දුම්රිය මාර්ගය අසල පිහිටි තම නිවස ඉදිරිපිටට වී සිටියේය. එම අවස්ථාවේදී ටින්කා නොහොත් ජයරංග එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියේය.
ජයරංග නොහොත් ටින්කා එම ප්‍රදේශයම පදිංචි තරුණයෙකි. හරිහමන් රැකියාවක් නොකළ ඔහු මිතුරන් සමග රස්තියාදු ගැසීම තම ජීවිතයේ අංගයක් බවට පත් කරගෙන තිබුණි. ඔහුගේ හොඳම මිතුරා වූයේ සුරංග ඉන්දික නොහොත් සුද්දාය. මෙම සුද්දා යනු ධනංජය ද සිල්වා සහ සංගු ගේ පියා වන රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකි.
ධනංජය ද සිල්වා මෙන් නොව සංගු කුකුල් කේන්තිකාරයෙකි. ඔහු අවස්ථා කිහිපයකදීම ගමේ තරුණයන් සමග ගැටුම් ඇති කර ගත්තේය. ඒ පිළිබඳව පොලිස් පැමිණිලි ද තිබේ. එපමණක් නොව තම පියා ඝාතනය කළ පසු එම සිද්ධිය සම්බන්ධයෙන් පරස්පර විරෝධී සාක්ෂි ලබාදීම නිසා ද මොහුට චෝදනා එල්ලවී තිබුණි. තවද තම පියා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සමග පමණක් නොව ඔහුන්ගේ මිතුරන් සමග ද සංගු සිටියේ බද්ධ වෛරයකිනි.
තම නිවස අසල මාර්ගයේ ජයරංග නොහොත් ටින්කා ගමන් කරන අයුරු සංගු දුර තියාම දුටුවේය. එලෙස ටින්කාව දුටු සංගුට එක්වරම කේන්ති ගියේ පරණ පුරුද්දට මෙන්ය. “අද උගන්වන්නම් මූට හොඳ පාඩමක්. මූත් ඉන්නේ අරුන් එක්කනේ” කේන්ති ගිය සංගු එලෙස සිතුවේය.
එවැනි මානසිකත්වයෙන් සිටි ඔහු ටින්කාගෙන් “අඩෝ උඹ මහලොකු චන්ඩියෙක් කියලද හිතාගෙන ඉන්නේ.” යැයි විමසුවේය.
එලෙස සංගු හේතුවක් නොමැතිව තමා වෙත බැණ වදින්නේ කුමන කාරණයක් මතද යන්න නොදත් ටින්කා පෙරළා මෙලෙස විමසුවේය. “මොකක්ද උඹ මට කියන්නේ” “හිටපන්, මම කියපු දේ උඹට පැහැදිලි කරලා දෙන්නම්” යැයි පැවසූ සංගු යළිත් ටින්කාට බැණ වැදුණේ පරුෂ වචනද භාවිතා කරමින්ය. එයින් උරණ වූ ටින්කාද සංගුට බැණ වැදුණේය.
එලෙස විනාඩි කිහිපයක් දෙදෙනා බැණ ගන්නා අතර තුර සංගු එක්වරම ඉදිරියට පැන ටින්කාගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කළේය. එම කම්මුල් පහර කෑ ටින්කා ද සංගුට පහර දීමට පටන් ගත්තේය. ඒ සමගම දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් සිදු වූහ.
සංගු සිටියේ පාලනය කරගත නොහැකි ඉමහත් කෝපයකිණි. එම නිසා ගුටි බැට හුවමාරුව අතරතුරම ඔහු ක්ෂණයෙන් නිවස තුළට දුවගොස් මන්නා පිහියක් රැගෙන ටින්කාගේ පාදයට පහරක් එල්ල කළේය. මන්නා පහර කෑ ටින්කා විලාප දෙමින් දුව ගියේ “හිටපන් මම උඹට හොඳ පාඩමක් උගන්වන්නම්” යැයි පවසමින්ය.
මන්න පහර කෑ ටින්කා කෙලින්ම දිව ගියේ සුරංග ඉන්දික නොහොත් සුද්දාගේ නිවස වෙතයි. ටින්කා ගේ දුකට සැපට සිටි හොඳම මිතුරා සහ මස්සිනා ද වූවේ සුද්දා ය. පාදයක ලේ ගලමින් තම නිවස වෙත දිව එන ටින්කාව දුටු සුද්දා “මොකද උඹට වුණේ” යැයි විමසුවේ විමතියට පත්වෙමින්ය.
“සංගු මට කෙටුවා” ඔහුට කීමට හැකිවූයේ එය පමණි.

රංජන්ද සිල්වා සිය බිරිඳ සමග
එය ඇසූ සුද්දා ඉමහත් කේන්තියකින් “අද මම ඕකව ඉතුරු කරන්නේ නැහැ. ඌ දන්නෙ නෑ මේ සුද්දා කියන්නේ කවුද කියලා.” පවසමින් නිවස තුළට ගොස් පිහියකුත් රැගෙන සංගුගේ නිවස දෙසට දිව ගිය අතර ඔහුව අනුගමනය කරමින් තවත් කිහිප දෙනෙක්ද දිව ගියහ.
ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් එම මොහොතේම එල්ල වේ යැයි සංගු කිසිසේත්ම සිතුවේ නැත. එම නිසා ඔහු කිසිදු බියක් සැකක් නොමැතිව නිවස අසල රැඳී සිටියේය. එලෙස සිටින ඔහුට කිහිප දෙනකු කෑ ගසමින් තම නිවස දෙසට එනු දකින්නට ලැබුණි. එනපොට හරි නැති බව තේරුම් ගත් සංගු පැන යෑමට උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. එතනට පැමිණ සුද්දා බැණ වදිමින් සංගුට පහර දීමට පටන් ගත්තේය. සංගුද ප්‍රති පහර එල්ල කිරීමට උත්සාහ කළේය. එහෙත් සාර්ථක වූයේ නැත.
නිවස තුළ සිටි සංගු ගේ නැන්දාට නිවසින් පිට කිසියම් පිරිසක් කෑ කෝ ගසන හඬ ඇසුණි. වහාම ඇය එළියට පැමිණියාය. එවිට ඇය දුටුවේ නිවස ඉදිරිපිට සංගු සහ සුද්දා රණ්ඩු වන අයුරුය. වහාම එතනට පැමිණි ඇය රණ්ඩුව බේරීමට උත්සාහ කළාය. එහෙත් පලක් වූයේ නැත. ඇයටද පහර කිහිපයක් එල්ල විය. ඒ සමගම සුද්දා සංගුගේ අතට පිහි පහරක් එල්ල කළේය.
සුද්දා විසින් එල්ල කළ එම දරුණු පිහි පහර හමුවේ සංගුට කිසිවක් කර කියා ගත නොහැකි විය. “තවත් මෙතන සිටියහොත් ඒකාන්තයෙන්ම මැරුම් කෑමට සිදුවෙනවා. එම නිසා දිවි බේරා ගැනීමට නම් මෙතැනින් පැන යා යුතුය” ක්ෂණිකව එලෙස සිතුණි. ඒ අනුව මර බියෙන් ඔහු පණ බේරා ගැනීමට රේල් පාර දිගේ දිව ගියේ මීටර් සියය දුවන ක්‍රීඩකයකු මෙන්ය. එලෙස බියෙන් පලායන සංගු පිටුපස සුද්දා දිව ගියත් ඔහුට සංගුව අල්ලා ගැනීමට නොහැකි විය.
එලෙස පැන ගිය සචිත්‍ර ද සිල්වාව කිසියම් පිරිසක් විසින් ලුණාව රෝහලට ඇතුළත් කරන ලදී. ඔහුගේ කැපුම් තුවාලය බරපතළ වූ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරු කර යවන ලදී. ඒ සමගම අනෙක් පාර්ශ්වයේ තුවලකරුවද රෝහල්ගත කෙරුණි. ඒ අතර කාලය තුළ දෙපාර්ශ්වයම විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණි.
පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු දෙපාර්ශ්වයේම පිරිස අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළහ. ඒ අනුව සචිත්‍ර ද සිල්වා, සුරංග ඉන්දික නොහොත් සුද්දා සහ ජයරංග නොහොත් ටින්කා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළහ.
එහෙත් සිද්ධිය එලෙසින් අවසන් නොවුණි. මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පෙර සිටම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ ජාලා ඔස්සේ මෙම සිද්ධියට මහත් ප්‍රචාරයක් ලැබුණි. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණි. එකක් මෙම සිද්ධියට සම්බන්ධ සංගු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සහ වත්මන් ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන ධනංජය ද සිල්වාගේ සහෝදරයා වීමයි. අනෙක සුරංග ඉන්දික නොහොත් සුද්දා පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධ දැනට ප්‍රංශයේ රැඳී සිටින රත්මලාන අංජුගේ ගෝලයකු ලෙස හැඳින්වීමයි. ඒ අනුව බහුතරයක් මෙම පහර දීම පිටුපස රත්මලානේ අංජු සිටින බව පැවසූහ. තවත් පිරිසක් පැවසුවේ මෙය සංගු විසින් බලෙන්ම ඇති කරගත් ආරවුලක් බවයි.
තත්ත්වය එසේ තිබියදී මෙම ගැටුමේ සත්‍ය කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අපි අදාළ පාර්ශ්ව දෙක සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු. එහිදී ධනංජය ද සිල්වා මේ සඳහා අවස්ථා කිහිපයකදීම සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය අසාර්ථක විය. සමහරවිට එයට හේතුව ඔහුගේ කාර්යබහුලත්වය විය හැකිය. සචිත්‍ර ද සිල්වා නොහොත් සංගු මෙම ලිපිය ලියන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නිසා ඔහුවද සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එම නිසා ඔහුගේ පවුලේ සමීපතමයකු සම්බන්ධ කර ගැනීමට හැකිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
“මේ සිද්ධිය සිදුවන මොහොතේ මම සිටියේ නිවසින් බැහැරවයි. මගේ මිතුරෙකු දුරකථන ඇමතුමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳ පැවසුවා. ඉන්පසු මම සිද්ධිය වූ ස්ථානයට පැමිණියා. එලෙස මා පැමිණෙන විටත් සචිත්‍රව රෝහල්ගත කර තිබුණා.”
“මියගිය රන්ජන් ද සිල්වා මගේ ඥාති සහෝදරයෙක්. එකල ඔහු සමග මම සමීපව වැඩ කටයුතු කළා. රන්ජන් අයියට ළමයි තුන්දෙනෙක් හිටියා. වැඩිමලා තමයි සචිත්‍රද සිල්වා. අනෙක් දෙන්නා නිවුන්නු. නිවුන්නු වුණාට දෙන්නට එකම මුහුණුවර නොවෙයි තිබුණේ. ඒ දෙන්නම ක්‍රිකට් ගැහුවා. ධනංජය කුඩා කාලයේ සිට හැදී වැඩුනේ නිවසින් බැහැරව දකුණු පළාතේ. ක්‍රිකට් සෙල්ලම් කළේත් එම පළාතේ ප්‍රසිද්ධ පාසලක. ඊට පස්සේ මට මතක විදිහට අවුරුදු දාසයේදී පමණ තමයි නැවතත් කොළඹ ඇවිල්ල ක්‍රිකට් ගහන්න පටන් ගන්තේ. රන්ජන් අයියටත් ලොකු උනන්දුවක් තිබුණා ධනංජයව ක්‍රිකට්වලින් ඉස්සරහට ගෙනියන්න. එයා ඒ වෙනුවෙන් ගොඩක් උදව් කළා ධනංජයට. අවසානයේ ධනංජයගේ දක්ෂතා නිසා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න හම්බ වුණා. ධනංජය ගේ නිවුන් සහෝදරයා දැන් රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා.”
“ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් සමග ධනංජය ද සිල්වා පවුලේ උදවිය සමග වැඩිපුර කාලය ගත කළේ නැහැ. රන්ජන් අයියා මැරුණට පස්සේ එයා තව තවත් පවුලෙන් දුරස් වුණා. ඒකට හේතුව එයාගේ කාර්යබහුලත්වය වෙන්න ඇති.”
“සංගු කියන්නේ ටිකක් දඩබ්බර චරිතයක්. එයා ප්‍රශ්න ගොඩක් ඇතිකර ගත්තා. මේ ප්‍රශ්නය වුණත් ඇති නොවිය යුතු දෙයක් කියලයි මං හිතන්නේ. එයාගේ තාත්තව කට්ටිය වෙඩි තියලා ඝාතනය කළා තමයි. ඒක දැන් වෙලා ඉවරයි. ඒකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන දැන් නඩුත් පවරලා තියෙනවා. නීතියෙන් වැරදි කරුවන්ට දඬුවම් හම්බවෙයි. ඒක නිසා අනවශ්‍ය කරදර දාගන්න ඕන නැහැ.”
ධනංජය ද සිල්වාගේ පාර්ශ්වයේ සමීපතමයකු එලෙස පවසද්දී මේ සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ නම ගෑවී ඇති පාතාල නායකයකු යැයි පවසන ප්‍රංශයේ රැඳී සිටින රත්මලාන අංජු නොහොත් අමල් සිංහාර ගෙන් මේ පිළිබඳව අපි විමසුවෙමු. එවිට ඔහු මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූවේ මෙලෙසින්ය.
“සචිත්‍ර ද සිල්වා නොහොත් සංගු එක්ක මගේ කිසිම තරහක් නැහැ. එයා එක්ක හැප්පෙන්න මට කිසිම උවමනාවක් නැහැ. මොකද සංගු කියන්නේ මට මෙලෝ රහක් නැති මනුස්සයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක මොකටද මම හැප්පෙන්නේ. අනික සංගු මගෙන් අහලා තමයි ඔය ගෙදර පදිංචියට ආපහු ගියේ. එහෙම කෙනෙක්ව මට මරන්න උවමනාවක් තියෙනවද.?”
“අනික එයා දැන් යාළු වෙලා ඉන්නේ මගේ තාත්තගේ මල්ලිගේ දුවත් එක්ක. සංගු එක්ක මම තරහක් තියෙනව නම් ඒ සම්බන්ධය පවත්වාගෙන යන්න ඉඩ දෙන්නෙත් නැහැනේ. ඇත්තටම මට ඒ පවුලේ උදවිය එක්ක කිසිදු තරහක් නැහැ.”
ඔහුගේ කතාවට බාධා කරමින් “ඇයි බොරු කියන්නේ. ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා ඝාතනයේ මහ මොළකරු මෙන්ම ප්‍රධාන සැකකරු ඔයා.”
එවිට රත්මලානේ අංජු…

“කවුද එහෙම කියන්නේ. එම ඝාතනය මගේ නමට තමයි සමහරු බැර කළේ. එහෙත් මම ඒ ඝාතනයට කිසිසේත් සම්බන්ධ නැහැ. බොරු නම් හොයලා බලන්න. ඒ නඩුව ගල්කිස්ස උසාවියේ විභාග වෙනවා. නඩු වාර්තා හොයලා බලන්න මගේ නම ගෑවිලා තියෙනවද කියලා. අනික එම ඝාතනයේ පරීක්ෂණ සිදු කළේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මම එම සිද්ධියට සම්බන්ධනම් එම නිලධාරීන් මාව අතහරියිද? අනිවාර්යයෙන්ම මාවත් එම ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනවනේ.”
“එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රාජා කියලා කෙනෙක්. පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියා. රන්ජන් සිල්වා ඝාතනයේ සැකකරුවන් පිළිබඳව මම ආරක්ෂක අංශවලට ඔත්තුවකුත් දීලා තියෙනවා. මම ඒ ඝාතනයට සම්බන්ධ නම් එහෙම දෙයක් කරයිද?”
“ධනංජය ද සිල්වා කියන්නේ මම කැමතිම ක්‍රීඩකයෙක්. මම ඔහු සෙල්ලම් කරන තරග බලනවා. එක පාරක් මම ඔහුගේ තරගාවලියක් බලන්න ඔස්ටේ්‍රලියාවෙත් යන්න හැදුවා. වීසා ගැටලුවක් නිසා මට යන්න බැරි වුණා. ධනංජයගේ පවුල්වල උදවියටත් මම උදව් කරලා තියෙනවා. සමහර උදව් තියෙනවා කියන්නත් බැරි ඒවා.”
ඔය මොනවා කිව්වත් ඔයා පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක්, ප්‍රංශයේ ඉඳන් මෙරට සිටින ඔයාගේ ගෝලයෝ යොදවලා මනුෂ්‍ය ඝාතන සිදු කරනවා, කප්පම් ගන්නවා ඒ මදිවට මත්ද්‍රව්‍ය ජාවාරමත් ජයටම කරගෙන යනවා.
“මම එකක් කියන්නම් මේ කියපු එකක්වත් බොරු නෙවෙයි. ඇත්තටම මාව මේ තත්ත්වෙට ඇදලා දැම්මේ ශ්‍රී ලංකා පොලිසිය. මොකද ඔවුන් මුලින්ම මාව බොරු බෝම්බ සිද්ධියකට පමණක් නොවෙයි එල්ටීටීඊය සමග සම්බන්ධකම් තියෙනවා කියලා බොරු චෝදනා එල්ල කරලා ඇතුළට දැම්මා. එතකොට මගේ වයස අවුරුදු විස්සක්වත් නැහැ. නොකරපු වැරදිවලට මාව පටලනකොට කොහොමද ලංකාවේ ජීවත් වෙන්නේ. ඉන්න බැරිම තැන තමයි ප්‍රංශයට ආවේ.”
“ප්‍රංශයේ ඇතිවූ සිද්ධියකදී මාව පොලිස් අත්අඩංගුවට පත්වුණා. මම ඔය කියන ජාතියේ ලොකු අපරාධ කාරයෙක්නම් ලංකාවේ ආරක්ෂක අංශවලට වෙනත් අපරාධකරුවන් ගෙන්වා ගත්තා වගේ (රතු වරෙන්තු ඇති පිටරටදී අත්අඩංගුවට පත්වූ) මාවත් ගෙන්න ගන්න තිබුණනේ. මට එරෙහිව ලංකාවේ තියෙන්නේ නඩු හතරයි. එකක් බෝම්බ සිද්ධියක් පටලවලා පොලිසියෙන් දාපු බොරු නඩුවක්. ඒ එක්කම එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධකම් තියෙනවා කියලත් මට බොරු චෝදනා එල්ල කරලා මාව හිරේට පවා දැම්මා. ඒ ඔක්කොම බොරු චෝදනා. මම ඒවා අතාරින්නේ නැහැ. දැනටත් මම නැති වුණත් ඒ නඩු විභාග වෙනවා. මට ඕන මම නිවැරදිකරු කියලා ඔප්පු කරලා පෙන්වන්න. තව නඩු දෙකකින් මම නිදහස් වුණා.”
“පොලිසිය ත්‍රස්තවාදය නැවැත්වීමේ පනත යටතේ මට නඩුවක් දැම්මා රත්මලාන, ගල්කිස්ස සහ මොරටුව ආදී ප්‍රදේශවල සිදුවන සියලුම අපරාධ සිදු කරන්නේ මගේ අනුදැනුම ඇතුව කියලා. අවසානයේදී අධිකරණයෙන් මාව නිදොස් කොට නිදහස් කළා. මට වුණ අපහාසය සම්බන්ධයෙන් වන්දි නඩුවකුත් මම දානවා.”
“මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මට කිසිම නඩුවක් නැහැ. මට බොරු චෝදනා එල්ල කරන්නෙ නැතුව ඔය කියන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මම සිදු කරනවා කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. ඒ එක්කම කියන්න තව දෙයක් තියෙනවා කට්ටියක් උත්සහ කරනවා මගේ නම කැත කරන්න. ඔවුන් මගේ නම විකුණලා විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනවා. පුළුවන්නම් අන්න ඒ අයව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න කියලා ශ්‍රී ලංකා පොලිසියෙන් මම ඉල්ලා සිටිනවා.”
ඔහුගේ කතාව එතනින් නැවතුණි. සෑහීමකට පත් නොවූ අප රත්මලානේ අංජුගෙන් තවත් ප්‍රශ්න ඇසීමට සූදානම් වුවත් අවසානයේ ඔහු මෙලෙස පැවසුවේය.
“මගෙත් ජීවිත කතාවක් තියෙනවා. ඒක කියන්න හොඳ දවස අද නොවෙයි. හැකි ඉක්මනින් මම අකුරක් නෑර ඒ කතාව කියන්නම්. එතකොට මේ අංජු කියන්නේ කවුද කියලා හැමෝම දැනගනියි.”
ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහර දීමේ සැකය එල්ල වූ පාතාල නායකයකු යැයි කියන ප්‍රංශයේ සැඟවී සිටින අමල් සිංහාර නොහොත් රත්මලානෙ අංජු එම සිද්ධිය පිළිබඳව සහ ඔහුට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දැක්වූයේ එලෙසින්ය.
මෙම ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණ වූයේ ඇත්ත ඇති සැටියෙන් පාඨකයාට ඉදිරිපත් කිරීම සඳහා මිසක් කිසිම පුද්ගලයකුට අපහාස කිරීමේ සහ සුදු හුණු ගෑමේ චේතනාවකින් නොවේ. තවද කිව යුත්තක් තිබේ සමහර අපරාධකරුවන් නීතියට බයේ සැඟවී සිටියත් හෘද සාක්ෂියෙන් කිසි දිනක ඔවුනට සැඟවී සිටීමට නොහැකිය.
Published in Uncategorized