කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතා පිළියන්දල ඇති නවීන පන්නයේ දෙමහල් නිවෙසේ බැල්කනියේ සිර කළ පුද්ගලයකු මහේස්ත්රාත්වරයාගේ සුඛෝපභෝගී නිල මෝටර් රථය පෙරේදා (11) සවස පැහැරගෙන ගොස් තිබේ.
මහේස්ත්රාත්වරයට අයත් පිළියන්දල, මඩපාත, පින්නවල පාරේ මෙම දෙමහල් නිවෙස කුලියට ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇති WP KR 2300 අංකය දරන මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා බව පොලිසිය කියයි. මෝටර් රථය පැහැරගත් පුද්ගලයා එය පදවාගෙන ගොස් ඇත්තේ බණ්ඩාරගම දෙසට බව ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණයේදී පෙනී ගොස් තිබේ. මෙම පුද්ගලයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම හොඳින් කතා කළ හැකි පුද්ගලයෙක් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මහේස්ත්රාත්වරයාට ඊයේ (12) දුරකතන ඇමතුමක් දුන් මෝටර් රථය පැහැරගත් පුද්ගලයා එම රථයේ වැදගත් ලියකියවිලි කිහිපයක් ඇති බැවින් එම ලියකියවිලි ලබා දීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ඉල්ලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මහේස්ත්‍රාත් සම්පත් ආරියසේන මහතා මේ වන විට පදිංචිව සිටින්නේ මොරටුව රාවතාවත්තේ සන්සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකය. පිළියන්දල මඩපාතේ පිහිටි නිවස ඔහු කුලියට ලබා දීම සඳහා ජනප්‍රිය වෙෙළඳ ප්රචාරක වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබී ඇත. එම දැන්වීමට අනුව යම් පුද්ගලයෙක් පෙරේදා (11) උදෑසන මහේස්ත්රාත්වරයාට දුරකතන ඇමතුමක් දෙමින් නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබෙන බව පොලිසිය කියයි. ඒ අනුව මහේස්ත්රාත්වරයාත් දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයාත් කතාබහ කර සවස පිළියන්දල මඩපාත පිහිටි නිවසට පැමිණ ඇත. ඒ පැමිණ ඇත්තේ දෙදෙනාම මඩපාත ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් අසලදී මුණගැසීය. මහේස්ත්‍රාත්වරයා ඔහුට අයත් නිල මෝටර් රථයේ නැඟී පැමිණ ඇති අතර, නිවස කුලියට ගැනීමට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. මහේස්ත්‍රාත්වරයා සිය නිල රථය පදවාගෙන යන අතරතුර ත්‍රිරෝද රථය එම රථය පිටුපසින් ගමන් කර ඇත. මහේස්ත්‍රාත්වරයා රෝලර් ගේට්ටුව විවර කරමින් මෝටර් රථය ගෙවත්තට ඇතුළු කර ගේට්ටුව ද වසා දමා ඇත. ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයා එම රථයෙන් බැස කුඩා ගේට්ටුවෙන් ගෙවත්තට ඇතුළු වී මහේස්ත්‍රාත්වරයා සමඟ නිවසටද ඇතුළු වී තිබේ. මහේස්ත්‍රාත්වරයා නිවසේ දොරගුළු විවර කරමින් එහි ඇතුළත පෙන්වා ඇති අතර, කිසි විටකත් තමා මහේස්ත්‍රාත්වරයෙක් බව ඔහුට පවසා නැති බව පොලිසිය කියයි.
නිවසට ඇතුළු වන පහළ මහලේ තිබුණු ටීපෝවක් මත පුරුද්දට මෙන් මෝටර් රථයේත් ගේට්ටුවෙත් යතුරු මහේස්ත්‍රාත්වරයා තබා තිබී ඇත. නිවස කුලියට ගැනීමට පැමිණි පුද්ගලයා මඳ වේලාවක් නිවස තුළ රැඳී සිට එය පරීක්ෂා කර බලා නිවස ඔහුගේ හිතට ඇල්ලූ බවද පවසා තිබේ. අනතුරුව ඔහු සිය සහෝදරයාව නිවස බැලීමට පැය භාගයකින් රැගෙන එන්නම් යැයි කියා පිටව එම ස්ථානයෙන් ගොස් ඇත. මහේස්ත්රාත්වරයාද ඒ අනුව නිවසේ රැඳී සිට ඇති බවත් පසුව ඔහු වෙනත් ත්‍රිරෝද රථයකින් එහි පැමිණ ඇත්තේ තනිවම බවත් පොලිසිය කියයි.
ඒ පැමිණි ඔහු උඩු මහල පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි කියා උඩු මහලට ගොස් උඩු මහලේ බැල්කනියට යමු යැයි කියා මහේස්ත්රාත්වරයාව බැල්කනිය වෙත රැගෙන ගොස් තිබේ. මහේස්ත්‍රාත්වරයා බැල්කනියේ සිටියදී එකවරම බැල්කනියට ඇතුළු වීමට ඇති දොර වසා දොරගුළු දමා පහළට දිව ගොස් තිබෙන බව පොලිසිය කියයි.
පහළ මහලේ ටීපෝව මත තිබුණු මෝටර් රථයේ යතුරත් ගේට්ටුවේ දුරස්ථ පාලකයත් රැගෙන දිව ගොස් රෝලගේට්ටුව විවෘත කරගෙන මෝටර් රථයේ නැඟී පලා ගොස් තිබේ. නිවස කුලියට ගැනීමට පැමිණි පුද්ගලයා මෙසේ මෝටර් රථය රැගෙන පලා යන විට බැල්කනියේ සිට තමා නඩුකාරයෙක් බවත් මෝටර් රථය තබා යන ලෙසත් කෑගසා කියා ඇතත් ඔහු ඒ කිසිවක් නොතකා මෝටර් රථය රැගෙන ගොස් තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අනතුරුව මෙම පුද්ගලයා මහේස්ත්රාත්වරයාට දුරකතන ඇමතුම දුන් ජංගම දුරකතනයට තමා මහේස්ත්‍රාත්වරයෙක් බව සඳහන් කරමින් මෝටර් රථය භාර දෙන ලෙස කෙටි පණිවුඩයක්ද යොමු කර ඇති බවද එම නිලධාරියා කීය.
මහේස්ත්රාත්වරයාගේ මෝටර් රථය මෙසේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් රැසක්ම මේ වන විට විමර්ශන පවත්වන අතර, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් පිළියන්දල පොලිසියෙන් කෙරන විමර්ශනයට අමතරව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයත් මොරටුවේ විශේෂ පොලිස් කණ්ඩායමකුත් විමර්ශන පවත්වනු ලබයි. ඊට අමතරව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන්ද විශේෂ විමර්ශනයක් පවත්වනු ලබයි.
මහේස්ත්රාත්වරයාගේ නිල මෝටර් රථය පැහැරගත් මෙම පුද්ගලයා මොටර් රථය පැහැර ගැනීමට පෙර දින සවස වත්තල ප්‍රදේශයේ නිවසකට ගොස් අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවද විමර්ශනවලින් තොරතුරු හෙළි වී තිබේ.
වත්තල නිවැසියන් ඔවුන් සතුව ඇති ඩොලර් 1000ක් වැඩිම ඉල්ලුම්කරුවෙකුට ලබා දෙන බවට වෙබ් අඩවියක සහ මුහුණු පොතේ දැන්වීමක් පළ කර තිබී ඇත. එම දැන්වීමට අනුව දුරකතන ඇමතුමක් ලබා දී මෙම පුද්ගලයා එම නිවසට ඩොලර් මිළදී ගැනීමට යැයි පවසා පැමිණ ඇත. එහිදී ඔහු ඩොලර් නෝට්ටු පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි පවසා ඇති බව සඳහන්ය. මොහුගේ හැසිරීම සැක සිතී එම නිවසේ හිමිකාරිය විසින් ඔහුට පවසා ඇත්තේ මෙම ඩොලර් ලබා ගැනීමට රැගෙන ආ මුදල් ලබා දී ඩොලර් පරීක්ෂා කරන ලෙසය. එහිදී ඇය ඔහුට පෙන්වා ඇත්තේ එක් නෝට්ටුවක් පමණක් බව සඳහන්ය. ඒ අනුව ඔහු මුදල් රැගෙන එන්නම් යැයි කියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට ද තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත. මෙම නිවසේ ආරක්ෂක කැමරාවල ඔහුගේ පැහැදිලි ඡායාරූපයක් සටහන්ව තිබී ඇති අතර, එම ඡායාරූපය මහේස්ත්‍රාත්ගේ මෝටර් රථය පැහැරගත් පුද්ගලයාගේ බව පොලිසිය තහවුරු කරගෙන ඇත.
වත්තල පදිංචි පුද්ගලයින් දෙමළ කථාකරන අය බවත් ඔහු ඇය සමඟ කථාකර ඇත්තේ දෙමළ භාෂාවෙන් බවත් පොලිසිය කියයි. මහේස්ත්‍රාත්වරයාගෙන් ලක්ෂ 05ක් ඉල්ලා ඔහු කථාකර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් බවද පොලිසිය කියයි. මහේස්ත්රාත්වරයාට ඔහු කථා කළ ජංගම දුරකතන අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී ඔහු විසින් ලබාගෙන තිබුණු දුරකතන ඇමතුම් ඔස්සේ කෙරන පරීක්ෂා කිරීම්වලදී පෙනී ගොස් ඇත්තේ මෙම පුද්ගලයා වෙබ් අඩවි දැන්වීම් හා මුහුණු පොතේ දැන්වීම්වලට අනුව මෙසේ ඒ තැන්වලට ගොස් වංචාවන්වල නිරතව සිටින පුද්ගලයෙක් බවය. මෙම පුද්ගලයා කළුතර පුද්ගලයෙකුගෙන්ද ඩොලර් මිලදී ගැනීමට ගොස් තිබෙන බවද මෙහිදී විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇත.
මෙම පුද්ගලයා මහේස්ත්රාත්වරයාගේ මඩපාත නිවසට අවස්ථා දෙකේදීම පැමිණි ත්‍රිරෝද රථ දෙකම පිළියන්දලින් කුලියට ගෙන ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. දුරකතන ජාල විමර්ශන සහ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය කරමින් විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක නිරතව සිටිති.






