Press "Enter" to skip to content

සියලුම වාහන හිමියන්ට ඉතාමත් වැදගත් පණිවිඩයක්.. වාහන උස්සන අලුත්ම ක්‍රමය..

පොලිස් නිලධාරීන්ගේ ක්‍රීඩා ඇඳුමින් සැරසුනු දෙදෙනකු ඇතුළු සිවු දෙනකුගේ කණ්ඩායමක් මෝටර් රියක නැඟී කොල්ලයකට සූදානමින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුව පොලිසියේ කණ්ඩායමකට පෙරේදා රාත්‍රියේ හමු වී තිබේ. පොලිස් ලාංඡන සහිත මේ ක්‍රීඩා ඇඳුම පොලිස් නිලධාරීන්ට හඳුන්වා දුන්නේ කොවිඩ් වසංගත සමයේදීය.

එබැවින් දැන් එම ඇඳුම සිවිල් වැසියන්ටද හුරු වී ඇති බැවින් මෙම කොල්ල කල්ලිය පොලිස් වෙසින් කොල්ලයක් සිදු කිරීමට සූදානම් වී ඇත්තේ ඒ ඇඳුමින් සැරසී බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අපරාධ මර්දනය සඳහා පෙරේදා රාත්‍රියේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මාඉඹුල ප්‍රදේශයේදී මේ සැකකරුවන් ගමන් කරමින් සිටි මෝටර් රිය පොලිස් කණ්ඩායමක් විසින් නතර කර ඇත්තේ පරීක්ෂා කිරීම සඳහාය. එහිදී මෝටර් රියේ සිටි දෙදෙනකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිටි බැවින් පොලිස් නිලධාරීන් සිතා ඇත්තේ ඔවුන් පොලිස් නිලධාරීන් බවයි. ඒ අනුව ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමකින් තොරව ඉදිරියට ගමන් කිරීමට ඉඩ දීමට පොලිස් නිලධාරීන් සූදානම් වූවත් මෝටර් රථයේ සිටි එක් පුද්ගලයකු අපරාධකරුවකු බවට එක් පොලිස් නිලධාරියකු විසින් හඳුනාගැනීමත් සමඟ රථයේ සිටි පිරිසගේ අනන්‍යතාව පරීක්ෂා කර ඇති බව සඳහන්ය. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔවුන් පොලිස් නිලධාරීන් නොව, කොල්ල කල්ලියක සාමාජිකයන් පිරිසක් බවයි. ඔවුන් සතුව තිබී අත්විලංගුවක්ද පොලිසියට හමු වී ඇත. ඊට අමතරව වාහන අංක තහඩු තුනක්ද මෝටර් රථයේ තිබී හමු වී තිබේ.

මේ කොල්ලකරුවන් නිට්ටඹුව මාඉඹුල පදිංචිකරුවකු වන බී.ඒ.ඩී. සංජීව (27), මුල්ලේරියාව නව නගරයේ පදිංචිකරුවකු වන එච්.ඒ. ප්‍රියදර්ශන (43), ගිංතොට වටරැක බටහිර පදිංචිකරුවක වන ඩබ්.එස්.කේ. මදුශංඛ (31) සහ එල්ලක්කල සිරිසඟබෝ මාවතේ පදිංකරුවකු වන ජේ.ඒ.සී.පී. ජයසිංහ (27) යන බව පොලිසිය කියයි.

සොරකම් සහ කොල්ලකෑම්වලට බන්ධනාගාරගතව සිට ඇති මේ කොල්ල කල්ලිය එහිදී එකිනෙකා දැනහඳුනාගෙන ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත. මේ කල්ලියේ ඉලක්ක බවට පත්ව ඇත්තේ එකලස් කළ සුඛෝපභෝගි වාහන බව විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලිස් නිලධාරීන් ලෙස ඔවුන් එවැනි වාහන හිමිකරුවන් අත්අඩංගුවට ගෙන එම වාහනය සමඟ පැහැරගෙන වාහන හිමිකරුවන් අතරමඟ දමා යමින් කොල්ලකෑම් සිදු කරන බවද පෙනී ගොස් ඇත. මේ කොල්ල කල්ලියට පොලිස් ඇඳුම් සහ අත්විලංගු ලැබුණු ආකාරය ගැන සොයා බැලීමේදී ඒ පිටුපස පොලිස් නිලධාරියකු සිටින බව පෙනී ගොස් ඇති බැවින් ඒ ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

දිනමිණ

More from GossipMore posts in Gossip »