වත්මන්සමාජයේ මිනිසත්කම පිළිබඳව කතා බහට ලක්ව ඇති මොහොතක මනුසත්කම පිරුණු මිනිසුන් තවමත් සිටින බව පෙන්වීමට සමත්වූ තරුණයකු පිළිබඳව පෙරේදා (24දා) බදුල්ල පළාත් මහ රෝහලෙන් අසන්නට ලැබිණි.
ඔහු නමින් නදීෂ නේරංජනය. පෞද්ගලික ආයතනයක සේවය කරන නදීෂ ආයතනයේ රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔහු විසින් කරන ලද උතුම් ක්‍රියාවක් නිසා මාස 18ක් වයසැති බිලිඳකු හට තවදුරටත් ජීවත් වීමට වාසනාව උදාවූ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්‍ෂ පැවැසීය.
“24 වැනිදා පෙරවරු 11.00ට පමණ යතුරු පැදියකින් පැමිණි තරුණයකු සහ කාන්තාවක විසින් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කුඩා අත දරුවකු රැගෙන ආවා.” “දරුවා රෝහලට ගෙන විටත් ඔහුගේ හෘද ස්පන්දන ක්‍රියාකාරීත්වය ඉතාමත් පහළ මට්ටමක පැවැතුණේ. දරුවාගේ ශරීරය නිල් පැහැ ගැන්වී තිබුණා. හෘද ස්පන්දන වේගය විනාඩියකට 0 වරක් පමණ තමයි ක්‍රියාත්මක වුණේ. පළමුවෙන්ම අපිට කළ යුතු කාර්යය වුණේ බිලිඳාට කෘත්‍රිම ශ්වසනය ලබාදීලා රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවා ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය බටය දරුවාගේ පෙණහලු තුළට ඇතුළු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.”
“එය කිරීමට යෑමේදී මට වැටහී ගියා මෙම දරුවාගේ ස්වරාලයේ කුමක් හෝ දෙයක් සිරවී තිබෙන බව. එය ඉවත් කිරීම අපහසු කරුණක් වුවත් ආරක්‍ෂාකාව බටය ඇතුළු කිරීමට අපට හැකියාවක් ලැබුණා.” “මේ වනවිටත් සැනසීමට තිබූ කරුණක්
වුණේ දරුවාගේ එක් පෙණහැල්ලක් ක්‍රියාත්මක වී තිබීමයි. කෘත්‍රිම ශ්වසන ලබාදී ස්වල්ප වේලාවකින් දරුවාගේ හෘද ස්පන්දන වේගය වැඩිවී රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ ගිය නිසා ඔහුගේ ස්වරාලයේ හිරවී ඇති දේවල් ඉවත් කිරීම සඳහා කඩිනමින් ශල්‍යකර්මයක් කිරීමට තීරණය කළා. පසුව උගුර, කන, නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය සපුමල් සහ නිර්වින්දන වෛද්‍ය කෝනාර ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සාර්ථකව කළ ශල්‍යකර්මයක් මඟින් මෙම දරුවාගේ පෙණහලු තුළ තිබූ පේර කැබලි වගයක් ඉවතට ගැනීමට ඔවුන්ට හැකිව තිබුණා. දැන් එම දරුවා දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් සිටිනවා.” “ඒ වගේම මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දරුවා රෝහලට රැගෙන ඒමට කටයුතු කළ නදීෂ ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුමයි. රාජකාරි කටයුතු සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කුඩා දරුවන් රැගෙන පාරේ දිවයන කාන්තාවක දැක කිසිදු පැකිලීමකින් තොරව දරුවා රෝහලට රැගෙන ඒමට කටයුතු නොකළේ නම් තත්ත්වය මීට
වඩා බැරෑරුම් වන්නට ඉඩ තිබුණා. ඒ නිසා අපි නදීෂ වැනි තරුණයන් ඇගැයීමට ලක්කළ යුතුයි” යැයි වෛද්‍ය පාලිත රාජපක්‍ෂ කීවේය. මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කළ නදීෂ නේරංජන් (33) මහතා. “මගේ ගම පස්සර. 24 වැනිදා බදුල්ල රෝහලට ඉදිරියෙන් ඇති මාර්ගයේ රාජකාරී කටයුත්තක් සඳහා ගොස් එමින් සිටියදී දහවල් 10.45ට පමණ මම දැක්කා මාර්ගය අසල පිරිසක් රැස්ව සිටිනවා. කලබලයෙන් එහාට මෙහාට දුවනවා. ඒ අසලම කුණු රැගෙන යෑමට පැමිණි ට්‍රැක්ටර් රථයක්ද නවතා තිබුණා. ඒ ට්‍රැක්ටර් රථයේ පැමිණි අයත් එහාට මෙහාට දුවනවා. පස්සේ මම මේ සිද්ධිය මොකක්ද කියලා බලන්න බයිසිකලය නතර කළාම මම දැක්කා කාන්තාවක් දරුවකු අරන් පාරේ ඉස්සරහට දුවගෙන යනවා. මම ඒත් බැලුවා වාහනයක්වත් හොයනවාද කියලා. එතැන ඒ වේලාවේ වාහන මොකුත් තිබුණේ. මම ඊට පස්සේ කීවා ඒ කාන්තාවට ඉක්මනට බයික් එකට නඟින්න කියලා. බයික් එකට එම කාන්තාව නැග්ගාට පස්සේ මම ඇහුවා හොහේටද යන්න ඕනේ කියලා. හොස්පිට්ල් එකට යන් කීවාම මම ඉක්මනින් දරුවා අරගෙන හොස්පිට්ල් එකට ආවා. පසුව තමයි මෙම සිදුවීම දැන ගත්තේ” යැයිද පැවැසීය.








