Press "Enter" to skip to content

තරුණයෙකු සිය සහකාරිය මරා දමා සිරුර කැබලි 35කට කපා වනාන්තරයක සඟවලා

තමන් සමග එකට ජීවිත් වූ සහකරු විසින් කාන්තාවක ඝාතනය කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා ඇය අතුරුදන්ව ඇති බව වාර්තා කිරීමෙන් පසු මේ සතියේ ඇයගේ ඝාතනය පිළිබඳව අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව, ඇයගේ සහකරු වූ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා නමැත්තෙකු එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර පසුව ඇයගේ සිරුර කැබලිවලට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දැමූ බව දිල්ලි පොලිසිය සඳහන් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු ඇයගේ කැබලි 35කට කපා ඇති බව ත් පසුව කොටසින් කොටස සිරුරු කොටස් බැහැර කර ඇති බව ත් ය.

එමෙන් ම, සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ උදෑසන පොලිසිය සැකකාර පූනවාලා ඔහු සිරුරේ කොටස් බැහැර කළ බව කියන වනාන්තරය ඇති ස්ථානයට ගෙන ගොස් ඇත.

වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය පවසයි.

මෙම වසර මුලදී, ඔවුන්ගේ සම්බන්ධතාව අනුමත නොකළ වල්කාර්ගේ පවුලේ අය සමග ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලියට ගොස් තිබේ.

“යුවළ පදිංචිය වෙනස් කළ විගස ම, ශ්‍රද්ධා ඇයව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීමට පටන් ගත්තා,” යැයි උසස් පොලිස් නිලධාරියෙකු වන අන්කිත් චෞහාන් ANI පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත.

“දෙදෙනා නිතර රණ්ඩු වෙලා තියෙනවා. සීමාව ඉක්මවා යන තරමට. මැයි 18 වන දින ඒ මනුස්සයා කෝපයෙන් ඇයගේ ගෙළ මිරිකා මරා දමලා,” ඔහු ප්‍රකාශ කර තිබේ.

වල්කාර්ගේ පවුලේ අය ඇය සම්බන්ධ කර ගැනීමට උත්සහ කර ඇත්තේ, මාස කිහිපයකින් ඇයගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් දැනුම් දීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වල්කාර්ගේ පියාට ද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට, ඔහු මුම්බායි පොලිසියට අතුරුදහන් වූ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

සිය පැමිණිල්ලේදී ඔහු පූනවාලාට එරෙහිව ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර, “දුව ඇගේ මවට කතා කර අෆ්තාබ් ඇයට පහර දුන් බව පවසන” බවට චෝදනා කර ඇත.

වල්කාර් අවසන් වරට ප්‍රසිද්ධයේ ජීවත් වූ ස්ථානය දිල්ලි නගරය බවට සොයා ගැනීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන දිල්ලි පොලිසිය වෙත මාරු කර තිබේ.

එම යුවළ දිවි ගෙවූ දිල්ලි නුවර මෙහ්රාලි ප්‍රදේශයේ පිහිටි කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේදී පූනවාලා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, ඝාතනයට ලක් වූ වල්කාර්ගේ සිරුරු කොටස් චතාර්පූර් එන්ක්ලේව්හි වනාන්තරවලට බැහැර කර ඇති බව ය.

ඔවුන් කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේ තිබී අස්ථි කොටස් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සැකකරු මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා භාජනය කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව ය.

එමෙන් ම, ඇය ඝාතනය කිරීමෙන් පසු ඇය ජීවතුන් අතර සිටින බව ඇඟවීමට ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයගේ මිතුරන් සමග ගනුදෙනු කිරීමට ද සැකකරු පියවර ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි එම වාර්තා සඳහන් කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, දිල්ලි පොලිසිය අෆ්තාබ් පූනවාලාගේ මනෝ තක්සේරු පරීක්ෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ය.

More from GossipMore posts in Gossip »