Press "Enter" to skip to content

ඉන්ධන මිල ගැන කාංචන විශේෂ ප්‍රකාශයක් කරයි

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවය.

එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල්කරුවන් විසින් ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි උප සභාපති කුසුම් සන්ධනායක මහතා පවසන්නේ, ඉන්ධන මිල අඩුවන බවට අපේක්ෂා කිරීම හේතුවෙන් ඇණවුම්කිරීම එලෙස සීමා කර ඇති බවය.

“පසුගිය මිල සංශෝධනයේදී උදේ 10ට විතර තෙල් අඩුවෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවත්, IOC සමාගමත් දෙකම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට තොග බෙදාහැරියේ අර පරණ මිලටම තමයි. එතකොට විශාල පාඩුවක් මේ බෙදුම්කරුවන්ට වුණා ලංකාව පුරාම සිටින. මේ 01 වනදා මිල සංශෝධනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා මේ තෙල් මිලදී ගැනීමේන් වැළකී සිටියා සියලුම පිරවුම්හල් හිමියන්. මේක සාධාරණ හේතුවක්. මොකද මෙවැනි විශාල පාඩුවක් මේ පිරවුම්හල්වට වෙනවා. දැන් කාලේ තියෙන විදිහට, බැංකුවල තියෙන පොලී අනුපාතය අනුව කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒකෙන් වැළකී සිටිය නිසා IOC සමාගම නම් මම කියන්න දැන්නේ නැහැ හරියටම. එහෙම කරන එකක් නැහැ කියලා මගේ විශ්වාසය. නමුත් ඛනිජ තෙල් සංස්ථාව දඬුවමක් වශයෙන් ඒ අයට තෙල් නිකුත්කිරීම නවත්වලා තියෙන්නේ.”

More from GossipMore posts in Gossip »