හිටපු ජනාධිපතිවරයාට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන මෙන් තායි පාර්ශවයට ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණු බවත්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන සුහද සබඳතා මත මෙම ඉල්ලීම සලකා බැලීම සිදු වූ බවත් ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ටනී සන්ග්රාට් මහතා පවසා ඇත.
“වසර 2013දී තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් වීසා බලපත්‍රවලින් නිදහස් කිරීමේ ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාට දින 90ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට හැකියාව ඇත. මෙම පැමිණීම තාවකාලික එකක් වන අතර, තවදුරටත් ඉදිරියට ගමන් කිරීමේ අරමුණ ඇතිව සිදුවන්නක් බව,” ඔහු පවසා ඇත.
තවද, රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ පතා නොමැති බවද එහි වැඩිදුරටත් දැක්වේ.
අද දිනයේදී මීට පෙර වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා හෙට (11) දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තයට ගමන් කිරීමට නියමිත බවයි.







