ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. අපි හැමෝගෙම ජීවිතවලට ආදරය අවශ්‍යයි. මිනිස්සු වගේම සතුනුත් ආදරයට කැමතියි. අම්මාගේ තාත්තගේ, සහෝදර සහෝදරියන්ගේ රසික රසිකාවියන්ගේ, යහළු යෙහෙළියන්ගේ ආදරය මට අඩුවක් නැතිව ලැබෙනවා. මම ඒ ආදරය විඳිනවා. නමුත් තවමත් මට පෙම්වතෙක් නැති නිසා ඒ ආදරය ගැන නම් අත්දැකීමක් නැහැ.”
අංජලී මෙත්සරා ආදරය ගැන අපිට කිව්වෙ ඒ වගේ කතාවක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 තරගාවලියේ අනු ශූරතාවය හිමිකර ගත් අංජලීව දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ඇගේ ගායන කුසලතාවය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වුණා.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය නිසා අංජලීට අසීමිත ජනතා ආදරයක් වගේම ඇගේ ආදරවන්තයාත් හමු වෙලා කියලා පහුගිය දවස්වල බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් ගත්තා. ඩ්‍රීම් ස්ටාර් තරගයටම සහභාගි වූ පැතුම් විමලවීර අංජලීගේ පෙම්වතා කියලා බොහෝ දෙනෙක් හිතුවත් පැතුම්, අංජලී කියන්නේ පෙම්වතුන් නෙමෙයි කියලා තමයි අංජලී නම් කියන්නේ.
“පැතුම් අයියයි මමයි පෙම්වතුන් නෙමෙයි. අපි ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය පුරාවටම එකතු වෙලා වැඩ කළා, ගීත ගායනා කළා. අනික් කාරණය අවසන් එකළොස් දෙනා අතර හිටිය එකම කාන්තා නියෝජනය මම. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය මං දිහාට යොමු වුණා. මම ලිට්ල් ස්ටාර් එකේ හිටියා කියලා ‘හෝ ගානා පොකුණේ’ රඟපෑවා කියලත් ගොඩක් අය දැනගෙන හිටියේ නෑ. පස්සේ තමයි ගොඩක් අය මාව අඳුර ගත්තේ. ‘නින්ද නොයන හැන්දෑවේ’ ගෲප් සෝන්ග් එක කියද්දි ඒකෙ වයිරල් වුණ කොටස කිව්වේ මමයි, පැතුම් අයියයි. ඊට පස්සෙත් අපි ගොඩක් ගීත ගායනා කළා තරගයෙන් පස්සෙත් විවිධ වැඩසටහන්වලට අපිට ආරාධනා ලැබුණා. ඒ නිසා ගොඩක් දෙනෙක් අපි දෙන්නා ගැන වැඩිපුර කතා වෙන්න පටන් ගත්තා”

පැතුම් විමලවීර ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් ඉවත් වූ අවස්ථාවේදී අංජලී ඉතාමත් සංවේදීව කටයුතු කළා. පැතුම් තරගයෙන් ඉවත් වූ අවස්ථාවේ අංජලී සංවේදීව හඬා වැටීම නිසාත් ඔවුන් ගැන ප්‍රේක්ෂකයන්ට තිබුණ කුතුහලය වැඩි වෙන්න ඇති.
“මම ගොඩක් සමීපව ආශ්‍රය කරපු කිහිප දෙනෙක් හිටියා. තරගාවලිය පුරාවටම අපි බොහොම හොඳින් සමගියෙන් වැඩ කළා. ඒ වගේ අයගෙන් ඈත් වෙද්දි දුක හිතෙනවා. පැතුම් අයියා තරගයෙන් ඉවත් වුණ අවස්ථාවේ මම සංවේදී වුණෙත් ඒ අය මට ගොඩක් සමීප නිසා. එතැන වෙන විශේෂ හේතුවක් නැහැ.”

කොහොම වුණත් පහුගිය දවසක අංජලීගේ සහ පැතුම්ගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළට එක්වීමත් සමගම ඔවුන් පිළිබඳව වන කතාබහ නැවතත් අලුත් වුණා.
“සිලෝන් ලිමරන්ස් කියන පේජ් එකෙන් ෆොටෝ ෂූට් එකකට මට ආරාධනා කළා. සන්දීප් මලිත් අයියා තමයි ඒ ෂූට් එක කළේ. ඒකට පැතුම් අයියත් එකතු කරගත්තා. ඒ ෆොටෝ ෆේස්බුක් දැම්මාට පස්සේ හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිචාර ලැබුණා. අපි දෙන්නා පෙම්වතුන් කියලා හිතාගෙන ගොඩක් අය සුබපැතුම් පවා එකතු කළා. ඇත්තටම කියනවා නම් ඒ ෆොටෝ ෂූට් එක වයිරල් වුණා. මට ආදරය කරන රසික රසිකාවියන් මට කතා කරලත් මේ ගැන ඇහුවා. සුබ පැතුම් එකතු කළා. පැතුම් අයියයි, මමයි ගොඩක් ගැළපෙනවා කියලාත් ඒ අය කීවා. කොහොම වුණත් පැතුම් අයියයි, මමයි පෙම්වතුන් කියලා පැතිරෙන කතාව නම් ගොසිප් එකක් විතරයි.”

සමාජ මාධ්‍ය කැළඹූ අංජලී – පැතුම් ඡායාරූප පෙළ ගැන අංජලී කීවේ ඒ වගේ කතාවක්. නමුත් අංජලීගේ සහ පැතුම්ගේ හඬට ආදරය කරන බොහෝ පිරිසක් ඔවුන්ට සුබ පැතුම් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ.
අංජලී මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින නිසා අධ්‍යාපනය කටයුතුත් එක්ක තරමක් කාර්යබහුල වෙලා. කලා ධාරාවෙන් උසස් පෙළ සඳහා සූදානම් වන අංජලීගේ දැන් ලොකුම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම. ඒ අතරතුර කලා කටයුතු සඳහාත් හැකි අයුරින් කාලය වෙන් කරන බවත් ඇය අපිට කිව්වා.
දෙරණ නාළිකාව සමග කළ නවතම ගීතය ඉක්මනින් එළිදැක්වීමටත් කටයුතු කරන බවත් ඇය මතක් කළා. ඒ ගීතයත් ආදරය පිළිබඳව කියැවෙන ගීතයක් වීම සුවිශේෂී කාරණාවක්.
“දෙරණ නාළිකාවෙන් ඔෆර් කළ සින්දුවට අමතරව තවත් මගේම ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගීතයේ වචන ලිව්වෙත් මමමයි. මේ දවස්වල මගේ සින්දුවේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. පුළුවන් ඉක්මනින් අලුත් සින්දුවේ වැඩ ටික ඉවර කරලා ඒ සින්දුවත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”
නිරෝෂා වාසල







