Press "Enter" to skip to content

කැලණියේ නයි නැටවූ දෙරණේ අලුත් තක්කඩි වැඩේ!

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාව බීච් පාර්ටියක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ දෙරණ 24 නාලිකාව හා එහි හිමිකරු දිලිත් ජයවීර මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවී තිබේ.

දෙරණ 24 නාලිකාවේ State of the Nation වැඩසටහනේදී ගෝල්ෆේස් විරෝධය “Galleface Beach Festival 2022 ” ලෙස හඳුන්වා එහි නිවේදක මහේෂ් ජොනී නැමැත්තා සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හේතුවෙන් දුක්විඳින ජනතාවගේ කඳුළුවලට කළ සරදමක් ලෙසයි බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හඳුන්වනු ලබන්නේ.

දිලිත්ගේ ඩබල් ගේම් !

මේ අතර අදාළ නාලිකාව හිමි දිලිත් ජයවීර මහතා අන්තර්ජාල මාධ්‍යක් වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවිය යුතුවේ යැයි වන සංකල්පනීය අදහස තම ඔලුවට පැමිණීමෙන් පසුව තමා එය පෝෂණය කර, එය වෙනුවෙන් පෙනී සිට ඔහු අපේක්ෂකයා දක්වා ගෙනඒම සිදු කළ බවයි.

නිවේදකයා ජයවීර මහතා තවමත් එසේ සිතා සිටින්නේ දැයි කරන ලද විමසීමකදී ඔහු කියා සිටින්නේ දැන් තමා එහෙම හිතන්නේ නැති බවයි.

ගෝල්ෆේස් විරෝධය බීච් පාර්ටි එකක් යැයි දෙරණ 24 නාලිකාව විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව එයට මාධ්‍යවේදී අරවින්ද ඉන්ද්‍රජිත් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් පහත දැක්වේ.

ජන අරගලය “දෙරණ”ට Joke එකක් වෙයි
———————————————————————–
ජනාධිපතිවරයාගේ සමීපමතම මිතුරකු වන දිලිත් ජයවීර නැමැත්තාට අයත් අද දෙරණ 24 නාලිකාවේ State of the Nation වැඩසටහනේදී ගෝල්ෆේස් විරෝධය ” Galleface Beach Festival 2022 ” ලෙස හඳුන්වා දෙයි . මෙම වැඩසටහන ඉදිරිපත් කරන මහේෂ් ජොනී නැමැත්තා ඉතා අපහාසාත්මක මෙන්ම උපහාසාත්මක ලෙස මෙම ජනතා විරෝධය “Beach party” එකක් බව පුන පුනා පෙන්වා දෙමින් එය හාස්‍යයට ලක් කළේ නින්දිත අයුරිනි.
ඔහු ගෝල්ෆේස් විරෝධයට ගියේ ජීවන බර දරාගන්න බැරිව වේදනාවෙන් කේන්තියෙන් කෑගසමින් සිටින මිනිසුන් අපේක්ෂාවෙන් බවත් එහි ගිය තමාට තමා වැරදීමකින් ගියේ Beach Carnival එකකට දැයි සැක සිතුනු බව කියයි. රුසියානු විප්ලවය ගැන සහ චිලී දේශයේ වික්ටර් හාරා වැන්නවුන් ගැන නොදන්නා මේ ලුම්පන් තක්කඩියා නළු නිළියන්, ගායක ගායිකාවන් පැමිණ කාබී නටා විනෝද වීමක් හැර විරෝධතාවක් නොදුටු බව කියයි. මෙම විරෝධතාවය හාස්‍යයට ලක් කරමින් Galle face Beach Festival 2022 යනුවෙන් වෙළද දැන්වීමක් සකසා එයද වැඩසටහන අතරමැද ප්‍රචාරය කරය. ඉන් නොනැවතී වත්මන් රජය විසින් සත්වොද්‍යාන අධ්‍යක්ෂවරිය ලෙස පත්කළ පසුව ඉල්ලා අස්වූ ෂර්මිලා රාජපක්ෂ දේශපාලන විචාරකවරියක් ලෙස සම්බන්ධ කරගනිමින් මෙම විරෝධතාව තවදුරටත් හෑල්ලුවට ලක් කරයි.


දිලිත්ගේ සහ මහේෂ්ගේ Beach Festival එකට නොව ඇත්තටම ගෝල්ෆේස් විරෝධතාවයට පැමිණි කෙනෙක් වෙයි නම් වහා කොළඹ ටී. බී ජයා මාවතේ පිහිටි දෙරණ ආයතනයට ගොස් මහේෂ් ජොනී හමුවී හො ඔහුගේ හම්පුතා හමුවී දරුවාට කිරිපිටි ටිකක්, ගෙදරට ගෑස් එකක්, බයිසිකලයට තෙල් ටිකක් ඉල්ලා සිටිය යුතු නොවේද ?


මහේෂ් ජොනී මහත්තයෝ ඔයාටයි දිලිත්ටයි රාජපස්සලාටයි ඕන විදිහේ දේවල් අරගලකරුවෝ ලවා කරගන්න ට්‍රයි කරන්න එපා. ඔයා කියන විදිහට මිනිස්සු අරගල කරාම ඔයාගෙ රාජපක්ෂලාට වෙඩි තියන්න ලේසියි. ගිය පාර කැලණි නයා දාල මිනිස්සු නැටෙව්වට දිලිත්ගෙයි දෙරණෙයි පදයට ජනතාව නටවන එක ලේසි වෙන්නෙ නෑ.

source – srilankamirror.com

More from GossipMore posts in Gossip »