තරු ගොන්නකින් සුපිරි තරුවක් වුණු ෆැලන් ඇන්ඩ්‍රියා කාලයකදී සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුණු වගේ ම කටකතාවලට අඩුවක් නැතිව මුහුණ දුන් තාරකාවක්. ගීත ලොවේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ආදරණීය, ආශීර්වාද වරුසා මැද්දේ ඇයගේ ම හැඩයකට ගොඩ නැඟී වෙනස් ම ගමනක් යන බවට ඉඟි මේ වන විටත් පළවී හමාර යි. හදගැස්ම ඇය වෙනුවෙන් වෙන්කළෙත් ඒ නිසා ම යි.
ෆැලන් මේ දවස්වල කරන වැඩකටයුතු මොනව ද?
කොවිඩ් නිසා අතපසු වූ වැඩ මේ දිනවල නැවත අරඹා තිබෙනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලව වැඩකටයුතු කරනවා.
ඔබගේ අලුත් ගීත ගැන කතා කළොත්?
මං අලුත් ගීත කිහිපයක් කළා. නමුත් ඒවා එළිදැක්වීමට මට මේ වසංගත කාලයේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා බොහොමයක් දෙනා මගේ අලුත් ගීත ගැන දැනුවත් නැහැ. නමුත් මේ වනවිට වැඩසටහන් කිහිපයකදී මගේ ගීත මට ගායනා කිරීමට අවකාශය ලැබුණා. ඒ වගේ ම තවත් ඉදිරියට අලුත් නිර්මාණ කිහිපයක් සමාජයට මුදාහරින්න බලාපොරොත්තු වෙනවා.
බොහොමයක් සුපිරි තරු කලා අඹරේ අතරමං වෙනවා වගේ ම කඩා වැටෙනවා. ඔබ එයින් මිදුණෙ කොහොම ද?
රියැලිටි තරගවලින් බිහි වන තරු සංකල්පයේ ගායක ගායිකාවන්ට එය සාමාන්‍යයෙන් එල්ල වෙන චෝදනාවක්. මං විශ්වාස කරනවා ක්ෂේත්රයේ රැඳී සිටීම පවතින්නේ අපේ ක්‍රියාකාරකම් මත යි කියලා. වෙනත් ගායක ගායිකාවන් කන කට්ටට සාපේක්ෂව රියැලිටි තරගයකින් බිහි වන ගායක ගායිකාවන් ලේසි පාරක් මාධ්‍ය ආයතන තුළින් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් වේදිකාවට අපව හඳුන්වා දුන් පසුව ඉතිරි කර්තව්‍යය පවතින්නේ අපේ අතෙ යි. අප වුවමනාවෙන් එකී පැවැත්ම ගොඩනගා නොගත්තොත් අප නැති වෙලා යනවා වගේ ම කලා අඹරේ අතරමං වෙනවා. ඒ නිසා අප අපගේ ගමන ගොඩ නගා ගන්නට ඉලක්කයක් නිර්මාණය කරගත යුතු යි. ඒ වගේ ම ඒ ඉලක්කයට මහන්සි විය යුතු යි.
පුද්ගල රුචිකත්වය පිළිබඳ යම් අවබෝධයක් ඇතුව ද ඔබ ගීතයක් සමාජයට මුදාහරින්නේ?
දැනට මං එළිදක්වා තිබෙන ගීත එකිනෙකට වෙනස්. ශාස්ත්‍රීය ගීතයක්, යුගල ගායනයක්, Electro, Pop වගේ ම ඉංග්‍රීසි ගීතයක් පවා මං සමාජයට නිකුත් කර තිබෙනවා. එසේ සමාජයට මුදාහැරීමෙන් අනතුරුව සමාජය ඒවා වැළඳ ගැනීම පිළිබඳව මං නිරන්තර සමීක්ෂණයක යෙදෙනවා. එකී පරීක්ෂණය තවමත් මං සිදුකරනවා. මේ කාලය තමයි එයට හොඳ ම අවධිය.
ඔබේ ජයග්‍රහණය ගැන ඔබේ ප්‍රතිවාදී තරගකාරිය චෝදනාත්මකව කතා කළා. ඔබ එයට දෙන පිළිතුර මොකක් ද?
එකිනෙකාගේ තේරුම් ගැනීමේ පරාසය තුළ යි එවන් ප්‍රකාශයන් නිකුත් කරන්නේ. ඇය මෑතකදී ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කර තිබෙනවා. ඇයට තරගයක් තිබුණේ තුන්වැන්නත් සමග යි කියලා. මට එවැනි ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ අවසන් අදියරේ තරගකරුවන් අතරට යාම පමණ යි. මොක ද තරගය නරඹන්නේ නැති බොහොමයක් දෙනා අවසන් වටය නරඹනවා. විශාල ප්‍රේක්ෂක පිරිසකට එවිට නිරාවරණය වෙනවා.
එයින් ලබන ජන ප්‍රසාදය තුළ තරගයේ එක වුණ ත්, දෙක වුණ ත්, තුන වුණ ත් පැවැත්ම රඳා පවතින්නේ ඉන්පසු අප කලාවේ රැඳී සිටින ආකාරය මත යි. එදා වේදිකාවේ සැබෑ වුණේ මං කුඩා කල පටන් ම දුටු සිහිනය. ඒ නිසා කිසිදු හේතුවක් නිසා මං මගේ ගමන අත හරින්නේ නැහැ. ඒ කතාව ගැන මට කියන්න දෙයක් නැහැ. නමුත් මගේ බලාපොරොත්තුව නම කියද්දි ලංකාවම හඳුනන සංගීතඥයෙක් වීමට යි.
කිරුළ දිනා ගැනීමත් සමග ම ප්‍රශංසා වගේ ම මඩ ප්‍රහාර ඔබට සම සමව හිමි වුණා. තරුණියක ලෙස ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගත්තේ කොහොම ද?
මම ඒ මාතෘකාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූවා. යම්කිසි පිරිසක් එය මං අවධානය ගැනීමට කළ දෙයක්, හෝද හෝද මඩේ දමා ගැනීමක් ලෙස හැඳින්වූවා. මම කළේ මාධ්‍ය සාකච්ඡාවල අසන පැනයට පිළිතුරු දීම පමණ යි. ඒ නිසා ඒ පිළිබඳව නැවත කතා නොකිරීමට මම හිතා ගත්තා. මේ වන විට බොහෝ දෙනා ඉන්ටර්නෙට් එකේ සයිබර් බුලින්වල ගොදුරු බවට පත්වෙන බව මං හොඳින් ම දන්න දෙයක්. අප ජීවත්වන විදිහෙන් ඒ මතයන් වෙනස් කළ හැකි යි. නිකන් එල්ල කරන වචනවලට සැලෙන්න හොඳ නැහැ කියන මතයෙ යි මම ඉන්නේ.
ප්රවීණයන්ගේ ඔබට ලැබුණු සහයෝගය කෙබඳු ද?
ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය යන අතරවාරයේදී පවා ප්‍රවීණයන්ගෙන් පෞද්ගලිකව අපට ඔවදන් ලබා දීලා ක්ෂේත්රයේ නිවැරදි මග පෙන්වූවා. අප වැනි නවකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන එකී ඔවදන් හා අවවාද ලොකු ශක්තියක් වගේ ම ආශීර්වාදයක්. තවමත් ඒ ආදරය එලෙසින් ම ලැබෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවා ද?
මම තව ම මගේ සංගීත ගමන ආරම්භ කළා පමණ යි. මගේ ලොකු ම හීනය මගේ ගීත ලොකු පිරිසක් ඉදිරියේ ගායනා කිරීම යි. ඒ හීනය ඉටු කර ගැනීමේ දොර විවෘත වී තිබෙනවා වගේ ම මට තවත් ලොකු දුරක් යාමට හැකියාව තිබෙනවා. සංගීත ක්ෂේත්රය තුළ ඉදිරියට ගිහින් මගේ නම කියූ පමණින් මුළු රටේ ම හඳුනන කෙනෙක් බවට පත්වීමට වගේ ම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.
බොහෝමයක් රියැලිටි තරගවලින් බිහි වන තරගකරුවන් ප්‍රසිද්ධ වී සිටින්නේ වගේ ම ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කරන්නේ ප්රවීණයන්ගේ ගීත පමණ යි. ඔබ අයත් වන්නේ ඒ කුලකයට ද?
රියැලිටි තරගවලින් බිහි වන තරගකරුවන් එහිදී යම් අසාධාරණයකට ලක්වෙනවා. රියැලිටි තරගාවලියේදී අප ගායනා කරන ගීත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් විට ප්‍රසංගවලදී ඒවා ගායනා කරන්න යැයි ප්‍රේක්ෂකයන් ඉල්ලීම් කරනවා. මේ වන විට මට යම් ප්‍රසංගයකට ආරාධනා ලැබුණහොත් මාගේ ගීත දෙකක් ගායනා කිරීමට මම අවස්ථාවක් ඉල්ලනවා. එය මගේ ප්‍රතිපත්තියක් ලෙස දිගට ම පවත්වාගෙන යනවා. නමුත් ඇතැමුන් එකී පදනම තුළ ස්ථාවර වීමට උත්සහ කරනවා.
Bad Marketing ඔස්සේ ගීත ප්‍රචාරණය කිරීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොම ද?
ලංකාවේ Viral යන විදිහටයි මිනිස්සු Viral යවන්න උත්සහ කරන්නෙ ත්. අපේ සමස්ත සමාජයට එවැනි වදින යමක් නොතිබුණොත් මිනිස්සු එම ගීත නරඹන්නේ නැහැ. අමුතු පින්තූරයක්, හිතා ගන්න බැරි මාතෘකාවක් දැමීමට මිනිස්සු කුතුහලය තුළ ඒවා නැරඹීමට පෙළඹනවා. ගීතයට ගැළපෙන රූප රචනයක් නිර්මාණය කළොත් ඇතැම් විට මිනිසුන් එය නරඹන්නේ නැහැ. එය නිවැරදි වීමට මුළු සමාජය ම උඩු යටිකුරු විය යුතු යි කියා මම විශ්වාස කරනවා.
ෆැලන් පෙම්වතියක් ද?
නැහැ.
ආදරය ගැන මොක ද හිතෙන්නේ?
ආදරය කියන්නේ සෑම මනුස්සයෙක් ම විඳිය යුතු අත්‍යවශ්‍ය දෙයක්.






