ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ දියණිය සහ ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා දූෂණය කරන බවට ඉන්ටර්නෙට් හරහා තර්ජනයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා ලෙසට කාන්තාවන් සඳහා වන දිල්ලි කොමිසම, දිල්ලි පොලිසියට දැනුම් දී ඇත.
එම කොමිසම දන්වා ඇත්තේ, නොවැම්බර් මාසය අවසන් වීමට පෙර තමන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙස ය.
එම කොමිසමේ සභාපති ස්වාති මලිවාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාස නවයක් වයසැති දැරියට තර්ජනය කර ඇති ආකාරය ඉතා ලජ්ජාසහගත බව ය.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දහස් වාරයක් ඉන්දියානුවන්ට අභිමානය රැගෙන විත් ඇති අතර පරාජයේදී මෙලෙස අමනෝඥ වන්නේ ඇයි දැයි ඇය ප්‍රශ්න කර තිබේ.
විරාත් කෝලිගේ දියණියට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වෛරීසහගත අදහස් පළවන්නට පටන් ගත්තේ, ඩුබායිහි පැවති ලෝක පන්දුවාර 20 කුසලාන තරගවලියේදී ඉන්දියාව, පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමග ය.
පසුව ඉන්දීය කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම හමුවේ ද පරාජයට පත් විය.






