මවගේ අනියම් ඇසුරට විරෝධය පළ කළ තරුණයෙකු පිහි ඇණුම් ප්රහාරයකින් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.
ඊයේ (18) රාත්රී 10.00 ට පමණ මුන්දලම, මදුරන්කුලිය – කරිකට්ටිය ප්රදේශයේදී මෙම ඝාතනය සිදුවී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය – කරිකට්ටිය පදිංචිව සිටි චාමර රුවන් කුමාර නම් අවු:28ක තරුණයෙක්.
සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මදුරන්කුලිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මීට පෙරද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සිර ගතව සිට මෑතකදී නිදහස්වී ඇති අයෙකු බවටද හදුනා ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇති තරුණයාගේ මව සහ සැකකරු අතර අනියම් සම්බන්ධයක් තිබී තිබෙනවා.
තරුණයා එම සම්බන්ධයට දැඩි ලෙස විරෝධය පළ කර තිබුණා.
සිද්ධිය වූ දිනයේද සැකකරු තරුණයාගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස්වීමක් හට ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.
බහින් බස්වීමෙන් අනතුරුව සැකකරු තරුණයාට පිහි පහර කීපයක් එල්ල කර ඇති බව පොලීසිය කියයි.
පිහි පහරට ලක්වූ තරුණයාව අවට පදිංචිකරුවන් විසින් එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.
රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තරුණයා 19 වැනිදා අළුයම 1.00 ට පමණ මිය ගොස් ඇති අතර දේහය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
(ජූඩ් සමන්ත – පුත්තලම)






