Press "Enter" to skip to content

අක්කයි නංගිගෙයි ජීවිතයට මල් පිපෙන කාලේ ඇවිත්

අද අපි කතාබහ කරන්නේ පුංචි තිරයට විස්මය සමගින් ආදරය කැන්දාගෙන ඇවිත් සිටින අලුත්ම මල් දෙකක් සමගයි. මල් කතා කරනවද? ඔබ එහෙම ඇසුවොත් ඔව්. ඇත්තටම සමහර කාලවලදී සමහර මල් කතා කරනවා. මේත් කතා කරන මල් දෙකක්. වචනවලින් විතරක් නෙවෙයි මේ දෙන්නා ඇස්වලිනුත් කතා කරනවා. අක්කා අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, නංගි කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර. මේ දෙන්නව ඔබට මේ දිනවල හමුවෙන්නෙ මල් පිපෙන කාලෙ ටෙලි නාට්‍යයේදියි. ටෙලි නාට්‍යයට අනුව අක්කා වන නිල්නෙතුගේ චරිතය රඟපාන්නෙ හැබෑ ජීවිතයේත් අක්කා අනුෂ්කි. නංගි වන පිණිමුතුගෙ චරිතයට රඟපාන්නෙ හැබෑ ජීවිතයේ නංගි කනුෂ්කි. හැමෝම මේ දෙන්නට කියන්නේ අනූ සහ කනූ කියලා. අපිත් ඒ කෙටි නම් දෙකේම මේ දෙන්නට කතා කරමු. ඒ තරමටම මේ අක්ක නගෝ දැන් අපිට ළං වෙලා නිසා.

මල් පිපෙන කාලය ගැන අනූ හා කනූ සිය අත්දැකීම විස්තර කළා ඒක හරිම සුන්දර අත්දැකීමක්.

මල් පිපෙන කාලෙ ටෙලි නාට්‍යයේ පූර්ව ප්‍රචාරක දැන්වීම ප්‍රචාරය වෙත්දිම රසික ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ගොඩක් අය හිතන්නේ චරිත දෙකම එක්කෙනෙක් කරනවා කියලා. නමුත් සැබෑ ජීවිතයේත් අපි අක්කලා නංගිලා. ඒ වගේම ටෙලිනාට්‍යයෙත් අපි දෙන්නා අක්කයි නංගියි.

නිල් නෙතු හා පිනි මුතු වෙන්න ලැබුණු අක්ක නගෝ දෙන්නට මල් පිපෙන කාලේ කියන්නේ හරියට වසන්තයේ ගෙදර ආ වගේ.

මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන තුෂාර තෙන්නකෝන් සර් එයාගෙ ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාලා තිබුණා නිවුන් සහෝදරියන් දෙදෙනෙක් ටෙලි නාට්‍යයක් සඳහා අවශ්‍යයි කියලා. ඒක අපේ යාළුවෝ දැකල අපිට කිව්වා. යාළුවෝ කිව්වා අපේ ටීචර්ලත් කිව්වලු අපි දෙන්නට මේකට අයැදුම් කරන්න සුදුසුකම් තියෙනවා කියලා. ඉතින් ඒක දැකලා අපේ අක්කි තමයි අපි දෙන්න වෙනුවෙන් අයැදුම් කළේ. චරිතයට තෝරගන්න සම්මුඛ පරීක්ෂණයට නිවුන් සොහොයුරියෝ කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා. හැබැයි සම්මුඛ පරීක්ෂණයේදි ලක්සිරි සර් සහ චරිත් සර් අපි දෙන්නව තමයි තෝරගෙන තිබුණේ. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක තුෂාර සර් අපිට කතා කරලා කිව්වා අපි දෙන්නට ප්‍රධාන චරිතය ලැබෙන්න ප්‍රධාන සුදුසුකම අපි දෙන්නා නිවුන්නු වීම නිසා කියලා. දෙවෙනි සුදුසුකම අපි දෙන්නගේ නර්තන හැකියාව. ඒ වගේම අපේ වයස 21ක්. ඒ වගේම අපි දෙන්නාගේ වයසත් 21යි. මේ ටෙලි නාට්‍යයේ ඉන්න චරිත දෙකේ තරුණියන් දෙදෙනාගේ වයසත් 21 යි. මේ හැම සමාන කමක්ම අපි දෙන්නා ගාව තිබුණා.


පවුල් පරිසරයේ යම් සිදුවීම් හැරුණාම පිණිමුතුයි නිල්නෙතුයි කියන්නේ සැබෑ ජීවිතයේදී මේ දෙන්නට බොහොම සමීප චරිත දෙකක්.

අපි දෙන්නා වගේ නිවුන් සහෝදරියන් දෙන්නෙක් තමයි නිල්නෙතුයි පිණිමුතුයි කියන්නේ. හැබැයි ඒ දෙන්නගේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්න නිසා මේ දෙන්නා ඉන්නෙ දෙතැනක. අපේ හැබෑ ජීවිතයේ එහෙම නැහැ. හැබෑ ජීවිතයේ ගත්තහාම නර්තනය වෙනුවෙන් තමයි අපි දෙන්නා කැප වෙලා ඉන්නේ. හැබැයි මේ දෙන්නත් නටන්න දක්ෂ යුවතියන් දෙන්නෙක්. මේ චරිත දෙක හරහා අපි දෙන්නගේ ඒ නර්තන හැකියාව වැඩි ප්‍රයෝජනයක් අරගෙන ඉදිරියට යන්න දෙරණ අයතනයේ බලධාරීන් අපට අවස්ථාව සලසලා දී තියෙනවා.

පුංචි කාලයේ ඉඳලම අනූටයි කනූටයි නර්තනය නිසා බොහෝ දේ හිමි වුණා.
අපි නර්තනය පටන් ගන්නෙ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 5 වලින්. ඒ වගේම විවිධ නර්තන තරඟවලිනුත් අපි දෙන්නා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම අපි දෙන්නා උඩරට පාහින්පත් තිබ්බා. සාමන්‍ය පෙළට නැටුම් හැදෑරුවා. උස්ස පෙළට කලා විෂයන් තෝරගත්තෙත් නැටුම් හදාරන්න තිබුණ කැමැත්ත නිසයි. කොටින්ම නර්තනයෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ.
රංගනයට පැමිණීම ඔවුන්ගේ ජීවිතයේ සිදුවූ තවත් අහඹු සිදුවීමක්.

රංගනයට එන්න බලාපාරොත්තුවක් තිබුණෙ නැහැ. අපි දෙන්නගෙම අරමුණ වන්නේ නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියන් වීම. ඒ වෙනුවෙන් අපි ගොඩක් දේ කළා. අපි දෙන්නගේ නමින් ඩාන්සින් ස්ටූඩියෝ එකක් ආරම්භ කළා. හැබැයි අපිට නිවුන්නු විදිහට රඟපාන්න චරිතයක් ලැබුණොත් බාරගන්නවා කියලා හිතාගෙන හිටියා. ඒ වගේම අහම්බෙන් වගේ අපිට ඒ අවස්ථාව ලැබුණා. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට මේ චරිතයට කතා කළා කළානම් කවදාවත් මේක භාරගන්නේ නැහැ.

ඉදිරියටත් ඔවුන් දෙදෙනාගේ ගමන එකටම සිද්ධ වෙයිද කියන ප්‍රශ්නයට දෙදෙනාම ලබා දුන්නේ එකම පිළිතුර.

එහෙම නැහැ. පිටපත බලලා අපිට ගැළපෙන චරිතයක් නම් බාරගන්නවා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් ගියත් අපි දෙන්නම ගියා වගේ තමයි. ඉදිරියේ දී සමහර විට වෙනස් දේවල් කරන්න සිද්ධ වෙයි. කතා බහ කරලා අපට ගැළපෙන දෙයක් නම් භාර අරගෙන කරන්න ඉඩ තියෙනවා

.

බොහෝ දෙනෙක්ට අක්කවයි නංගිවයි හඳුනා ගන්න බැරි තරමටම ඔවුන් රූපයෙන් සමානයි කියලා තමයි කියන්නේ.

ඉස්කෝලේ යන කාලේ ඉඳන් ගොඩක් මාරුවෙලා තියෙනවා. ළඟම ඉන්න අයට අපිව දැකලාම දැන් හුරුයි. නැත්නම් අනිත් හැමෝම මුලින් අහන්නෙ ඔයා අනුද, කනුද කියලා. ඒ විදියට ගොඩක් දෙනෙක්ට අපි දෙන්නාව මාරුවෙච්ච අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මට දෙන පනිෂ්මන්ට් නංගිට ලැබිලා තියෙනවා.
රුවින් වගේම ගතිගුණවලිනුත් අක්ක නගෝ දෙදෙනෙක් නෙවේ එක්කෙනෙක් කියලයි හිතෙන්නේ.

අපි දෙන්නගෙම සිතුම් පැතුම් එක වගෙයි. ඇඳුම් ගන්න සාප්පුවකට ගියත් අපි දෙන්නා තෝරන්නෙ එකම ඇඳුම. මම වැඩියෙන් කතාබහ කරනවා. නංගි මට වඩා ටිකක් නිහඬයි. විභාගවලදී අක්කා ටික්ක විතර වැඩි ප්‍රතිඵල ගන්නවා. ඒත් ලොකු වෙනස්කම් නැහැ. අපි දෙන්නට දෙන්නා නැතිව ඉන්න බැහැ. මේ ළඟදි ෂූටිංවලට නංගි සතියක් නුවරඑළියේ ගිහින් හිටියා. මම හිටියේ ගෙදර. අපි දෙන්නටම හරිම තනියි. ඒ දවස්වල අපි දෙන්නා රෑ නින්දට ගියේ ෆෝන් එකෙන් දවසේ සිද්ධ වුණ සේරම කියවලා. අපි දෙන්නා හොඳම යාළුවෝ වගෙයි හැම තිස්සෙම ඉන්නෙ. මුළු ජීවිත කාලයේම මේ විදියට එකටම ඉන්න බලාපොරොත්තු වෙනවා.

දෙදෙනාම එකම පාසලේ එකම විශය ධාරාව හැදෑරුවා.
අපි දෙන්නා මුලින්ම මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ගම්පහ රත්නාවලී විද්‍යාලයෙට ඇතුළත් වෙලා කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. දැන් අපි දෙන්නම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියන් විදිහට අධ්‍යාපනය ලබනවා. ඒ අතර ප්‍රදීපා ආරියවංශ ගුරු මහත්මිය යටතේ භරත නාට්‍යම් හදාරණවා. භාස්කර් ප්‍රකාශ් සර් යටතේ බටහිර නර්තනය ඉගෙන ගන්නවා. ඉදිරියට නර්තනයෙන් හා රංගණයෙන් බොහෝ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.

තාත්තා අහිමි වුණත් අම්මගේ අක්කලාගේ ආදරය මැද්දේ හැදුනු මේ නිවුන්නු දෙන්නාට නම් පුංචි තනිකමක්වත් දැනිලා නැහැ.

අපි දෙන්නගේ තාත්තා අපිට අවුරුදු එක හමාරෙදි මියයනවා. ඒ ගැන ලොකු මතකයක් නැහැ නමුත් අදටත් තාත්තා මතක් වෙන කොට ලොකු වේදනාවක් හිතට දැනෙනවා. ඊට පස්සෙ අපේ අම්මා කිසිම දුකක් නොදී අපිව බලාගත්තා. ඇය අදටත් ගෘහනියක් හැටියට අපි වෙනුවෙන් ජීවිතය කැප කරලා තියෙනවා. අපි දෙන්නට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. ලොකු අක්කා ප්‍රීමා සමාගමේ විධායක නිලධාරිනියක්, දෙවෙනි අක්කා බැංකු නිලධාරිනියක්, තුන්වෙනි අක්කා ගුවන් හමුදාවෙත් හතරවෙනි අක්කා ගුවන් තොටුපොළේත් රැකියාව කරනවා. අක්කල හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම දැන් විවාහකයි. දැන් අපේ ගෙදර ඉන්නේ අම්මයි, හතරවෙනි අක්කයි, අපි දෙන්නයි විතරයි. බොහොම සතුටින් පවුලක් හැටියට අපි ජීවත් වෙනවා. රංගනයට සම්බන්ධ වුණා කියලා ඒ නිදහස සතුට සැනසුම නැති කර ගන්න කොහෙත්ම කැමති නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

More from GossipMore posts in Gossip »