සංචාරකයින්ව රට ඇතුළට රැගෙන එනවා නම් ඔවුන් රටින් පිටවනතුරු සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට ඔවුන් ලක්කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.
ගුවන්තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසු ඉකුත් දින කිහිපය තුළ සංචාරකයන් වශයෙන් විශාල ලෙස ඉන්දියානුවන් පැමිණෙන බව දක්නට ඇතැයි සඳහන් කළ උපුල් රෝහණ මහතා එසේ පැමිණෙන ඉන්දියානුවන් රට තුළ දින 14ක් ගත කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් කරා ගමන් කරන බව දක්නට ඇතැයි සඳහන් කරයි.
එසේ පැමිණෙන ඉන්දියානු සංචාරකයන් රට තුළ නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන්නේ කවුරුන් විසින්ද යන ගැටලුව අප හමුවේ පවතින බවත් විශේෂයෙන් මේවා සෞඛ්‍ය අංශවලට දැනුම්දීමක් සිදු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.
මෙම සංචාරකයන් ඍජුවම සංචාරක මණ්ඩලය හරහා ඔවුන්ගේ ඒජන්තවරුන් විසින් රැගෙන යන බවත් ඔවුන් දින කීයක් එහි ගත කරනවාද යන්න සම්බන්ධව සෞඛ්‍ය අංශ කිසිම දෙයක් නොදන්නා බවත් උපුල් රෝහණ මහතා පැවැසීය.






