මීට වසරකට පමණ පෙරදී අපේ පුවත්පත් කාර්යාලයේ සේවය කරන ඡායාරූප ශිල්පි මහතෙකු අදහාගත නොහැකි ආරංචියක් ලබා දුන්නේ ය.
“මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා අපි කවරයකට ගත්ත ගෑනු ළමයකුට මහ රෑ කෝල් එකක් දීලා රඟපාන්න කැමැති ද ඇහුව ලු. කැමැති නම් දුරකතන අංකයක් දීලා වට්ස්ඇප්වලින් කතා කරන්න කිව්ව ලු”
ඔහු ලබාදුන් මේ ආරංචිය ගැන සැබැවින් ම අප තුළ ඇති වුණේ සැකයකි. ඒ නිසා ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව විමසන්නට අපි වග බලා ගත්තෙමු.”
“නැහැ… මම ඔහො ම කතා නොකරන බව ඔයගොල්ලොත් දන්නවනේ. දැන් මේ වගේ දුරකතන ඇමතුම් කිහිපයක් ගැනම මට දැනගන්න ලැබුණා. මේ තැනැත්තා මම විධියට රඟපාලා තරුණ නිළියෝ කිහිපදෙනකුට ම දුරකතන ඇමතුම් ලබාදී තිබෙනවා.
මහාචාර්යවරයා මේ දුරකතන ඇමතුම්වලින් තමන්ගේ කීර්ති නාමයට සිදුවන හානිය ගැන සලකා මිරිහාන පොලිසිය හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ මෙයින් පසුවය. එහෙත් මේ රෑට රෑට දුරකතන ඇමතුම් ලබා දෙන මේ හොර සුනිල්ගෙන් නිළියන්ට ලැබෙන ඇමතුම් අඩුවක් නොවී එපරිද්දෙන් ම සිදුවිය.
“මේ විධියට තරුණ නිළියන් 50කට අධික ප්‍රමාණයකට මේ මනුස්සයා දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. ඒත් පුද්ගලයා කවු ද කියලා හොයාගන්න බැරිවුණා. ඇත්තටම ඔහුගේ දුරකතන අංක කීපයක් පවා අප සතුව තිබුණා. නමුත් ඔහු අංක වෙනස් කර කර කතා කරනවා. මේ වැඩේ නැවැත්තුවේ ම නැහැ.”
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුහුණ දුන් මේ ගැටලු සහගත තත්ත්වය ගැන කලා ක්ෂේත්රයේ බොහෝ දෙනකු පවා දැන සිටියත් ඒ කිසිවෙකුට මේ හොර සුනිල් කවුදැයි දැන ගැනීමට නොහැකි විය. ඔහු එතරම් ම සූක්ෂ්ම ආකාරයට මේ ක්‍රියාවලිය ඉදිරියට රැගෙන ගියේ ය.
කෙසේ හෝ පසුගිය සතියේ දිනෙක මේ හොර සුනිල්ව අල්ලා ගැනීමට හැකි මගක් පෑදී එන සලකුණු දකින්නට ලැබිණි. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ නිර්දා උයන්හේවා, ගාල්ල වරාය පොලිසිය හමුවේ තැබූ පැමිණිල්ලකට අනුව ය.
“නිර්දා කළ මේ පැමිණිල්ල නිසා මටත් පුළුවන් වුණා එතැනට ගිහින් කටඋත්තරයක් දෙන්න. මම ඒක සවිස්තරාත්මකව ලබා දුන්නා. දැන් පොලිසිය සතුව තමයි ඉදිරි කටයුතු තිබෙන්නේ. ඇත්තට ම මම වගේම තවත් නිළියන් රැසක් බලා ඉන්නවා කවුද මේ හොර සුනිල් එහෙමත් නැතිනම් මගේ නම විකුණලා කතා කරන්නේ කවුද කියලා බලන්න,” මහාචාර්යවරයා කීවේ ය.
මුහුණ නොපෙන්වා “මම මහාචාර්ය සුනිල් ආරියරත්න” යැයි හඳුන්වමින් නිළියන්ව අන්දවන මේ තකතීරුවා අල්ලා ගැනීමට මාර්ගය පෑදී තිබෙන්නේ නිර්දා උයන්හේවා නම් රංගන ශිල්පිනිය පොලිසිය හමුවේ කළ පැමිණිල්ලක් නිසා යැයි අපි ඔබට මතක් කළෙමු. එසේ නම් නිර්දාට එසේ පොලිසි යන්න සිදුවූයේ ඇයි? අපි අනතුරුව ඒ ගැන දැන ගැනීමට නිර්දාට කතා කළෙමු.
“පසුගිය සතියේ දවසක මට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නම සඳහන් කරලා දුරකතන ඇමතුමක් ලැබුණා. ඇත්තට ම මට සුනිල් සර්ව කලින් හමුවී නැහැ. කතා කරලත් නැහැ. මේ නිසා මම මේ කතා කරන්නේ එතුමා ම වෙන්න ඇති කියලා හිතලා කතා කළා.”
ඔහු නිර්දාට කතා කළේ අලුතින් නිර්මාණය කරන චිත්‍රපටයේ චරිතයක් සඳහා තෝරාගත් බව කියන්නටය. “ඔබට මම ඉතා හොඳ චරිතයක් වෙන්කර තිබෙනවා. කාලෙකින් රඟපාලා නැති නිසා ඔබව මට ඉතා සුවිශේෂීයි. ඔහු නිර්දාට එසේ ප්‍රකාශ කරන්නට ද අමතක නොකළේ ය. ඔහු එතැනින් නැවතුනේ නැත. නිර්දා රඟ චරිතය වෙනුවෙන් ඉහළ මිලක් ගෙවන්නට ද සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.
“ඔබට මේ වගේ මුදලක් මෙතෙක් කවුරුත් ගෙවලා නැතිව ඇති. මම ගෙවනවා. දන්නවනේ මම කරපු චිත්‍රපට. මම ඒවාට සම්බන්ධ වුණු අයට හොඳට ගෙව්වා. මම ඔයාට මගේ නිර්මාණවල සියලු විස්තර එවන්නම් ඒවා ගැනත් දැනුවත් වෙන්නකෝ.”
මේ ආකාරයට නිර්දා සමග බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුණු මේ පුද්ගලයා හැම විටම උත්සාහ කළේ තමන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් බව හැඟවෙන සේ කතා කරන්නටය . ඒ කතාබහ නිසාම නිර්දාට සැකයක් ඇති නොවිණි.
“මේ කතාව මේ විධියට දිගට ඉස්සරහට ගියා. ඒත් සමහර අවස්ථාවලදී මට සුනිල් සර් මෙහෙම කතා කියනව ද? මේ වගේ චරිතයක් ද? කියන සැකයකුත් ආවේ නැතුව ම නෙමෙයි. ඒත් මම ඒ ගැන වැඩිය හිතුවේ නැත්තේ මේ මනුස්සයව මට හඳුන්වා දුන්න සහාය අධ්යක්ෂවරයා නිසා.”
නිර්දා පසුගිය කාලයේ එතරම් ම කලා කටයුතුවල නියැළුණු නිළියක නොවේ. ඇය මෑතකදී නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘නෑනලා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ ඒ විවේක කාල සීමාවෙන් පසුවය.
“මම ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්න ගියාම තමයි මේ සහාය අධ්යක්ෂවරයා මුණගැසුණේ. ඔහු ඒ ටෙලි නාට්‍යයේ වැඩට ඇවිත් වැඩි කාලයක් නැහැ. ඒ නිසා මටත් ඔහු කලින් හමුවී තිබුණේ නැහැ.
කොහොම හරි එක දවසක් ඔහු තමයි මට මේ ගැන කියලා සම්බන්ධීකරණය ඇති කළේ. ඒ අනුව තමයි මම මහාචාර්ය සුනිල් ආරියරත්න කියලා මේ මනුස්සයා කතා කළේය.”
නිර්දාට කතා කළ මේ හොර සුනිල් ආරියරත්න පෙර කී ලෙස දීර්ඝ විස්තර කිරීමකින් පසුව දන්වා සිටියා තවත් අමුතුම විදිහේ කාරණාවක්. නිර්දා පවසන ආකාරයට ඒ කතාව මෙසේය.
“හරි… මම දැන් ඔයාට හැමදේම කිව්වා. දැන් ඊළඟට මේ චරිතය ගැනත් කතා කරන්න ඕන. ඒ වගේ ම මම ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා ඒක අහන්න මම ඔයාට ආපසු රෑවෙලා ගන්නවා.”
“ඔයා වට්ස්ඇප් ඉන්නවනේ. මට ඔයා එක්ක වීඩියෝ කෝල් එකක් අරන් කතා කරන්න ඕන. එතැනදී මම අහන ප්‍රශ්නවලට ඔයාගේ මුහුණේ ඉරියව් කොහොම ද වෙනස් වෙන්නේ කියලත් බලන්න ඕනේ. මොකද මේ චරිතයට ඒ ප්‍රශ්න වගේ ම ඒවාට ලබාදෙන උත්තර හා මුහුණේ ඉරියව් බලපානවා.”
නිර්දාට මෙසේ දැනුම් දුන් පසු ඇය සැකයකින් තොරව හා කීවේ හොර මහාචාර්යවරයා නරක චේතනාවකින් කටයුතු නොකරන බවට තිබූ විශ්වාසය නිසා ම ය.
“සුනිල් සර් ගැන අපි අහලා තියෙනවානේ. එතුමා හොඳ මනුස්සයෙක්නේ. ඉතිං මම කිව්ව එහෙම නම් සර් රෑ 10-11 වුණත් කමක් නැහැ ගන්න කියලා.”
කාලය ගෙවී ගියේ ය. රාත්‍රිය උදාවිය ඒ රාත්‍රියේ පැයෙන් පැය ඔරලෝසුව කටුව ඉදිරියට පැන ගිහින්, නිර්දා බලාපොරොත්තු වූ ඇමතුම ආවේය.
“ඔයා වීඩියෝ එක ඔන් කරගන්න. මම ඔන් කරන්නේ නැහැ. මොකද මට ඕන ඔයාගේ මුහුණේ ඉරියව් බලන්න,” මේ පුද්ගලයා කීවේය.
නිර්දා තමන්ගේ ඥාති දියණියකගේ දුරකතනයේ වට්ස්ඇප් ක්‍රියාත්මක කොට දැන් මේ පුද්ගලයා සමග සම්බන්ධ වී උන්නාය.
“මේ පුද්ගලයා මුලින් ම කිව්වා මම මේ අහන්නේ වත්තක. ඒ කියන්නේ, මුඩුක්කු පරිසරයක ගෑනු කෙනෙක්ගේ චරිතයකට අදාළ ප්‍රශ්න. ඒවාට ඒ භාෂාවෙන් ම උත්තර ඕන කියලා. එහෙම කියලා ඔහු ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
හොර සුනිල් ඉතාමත් ම ඉවසීමෙන් හා මහාචාර්යවරයාගේ කටහඬට සමාන කටහඬකින් දැන් තමන්ගේ ඉලක්කය කර ගන්නට සූදානම්ය. ඒ අනුව ඔහු අමුතු ප්‍රශ්න අහන්නට පටන් ගත්තේ ය. එහි කූටප්‍රාප්තිය බවට පත්වෙන්නේ සමලිංගික හා ඔවුන් සම්බන්ධ ප්රශ්නය. ඔහු මේ ප්‍රශ්න අහන අතරේ සඳහන් කරන්නේ චරිතයට අවශ්‍ය නිසා ම ඒ ප්‍රශ්න අහන බවය.
“අන්තිමට මගෙන් ඇහුවේ කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන සමලිංගික සේවනය ගැනයි. මට මේකට යකා නැග්ගා. මම දුරකතනය විසන්ධි කරලා දැම්මා.”
“කොහොම හරි ඔහොම ටික වේලාවක් ගියා. මම බලා හිටියා යළිත් වීඩියෝ කෝල් නැතිව නිකම් හරි මට කතා කරලා මොනවා හරි පැහැදිලි කිරීමක් මට කරයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. අන්න එතකොට තමයි මට මේ ගැන සැක හිතුණේ.”
නිර්දා අනතුරුව තමන්ට මේ සුනිල් ආරියරත්නව හඳුන්වා දුන් සහාය අධ්යක්ෂවරයාට කතා කළාය. කතාකොට මේ සම්බන්ධව නීතිය හමුවට යන බවත් ඇය ප්‍රකාශ කළාය.
“මම ඒ අනුව තමයි නීතිය හමුවට ගියේ. හැබැයි එහෙට යන්න කලින් මම මේ හොර සුනිල් ආරියරත්න ගැන අපේ අයගෙන් ම දැන ගත්තා. ඔවුන් මට කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා. කියලා ඔබ දැනගෙන හිටියේ නැද්ද කියලා. ඇත්තට ම මම මේ සම්බන්ධව දැන හිටියේ නැහැ.”
කෙසේ හෝ මේ වෙද්දි ගාල්ල වරාය පොලිසිය පෙර කී සහාය අධ්යක්ෂවරයාව අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට පමුණුවා ඇත. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේ, ඔහු හඳුන්වා දුන් මේ හොර සුනිල් ආරියරත්න කවුදැයි කියාය. එහෙත් ඒ ප්‍රශ්නයට තවමත් සහාය අධ්යක්ෂවරයාගෙන් පැහැදිලි පිළිතුරක් ලැබී නැත. දැන් පොලිසිය ක්‍රියා කරමින් සිටින්නේ මේ පුද්ගලයාගේ දුරකතන අංක හා ඔහු ලබාගත් ඇමතුම් තුළින් මේ හොර සුනිල් ආරියරත්න සොයා ගන්නට ය.
“මහාචාර්ය සුනිල් සර් ඇවිත් කිව්වෙත් තමන්ට සිදුවී තිබෙන ගැටලුව විසඳා දෙන්න කියලයි.
ඇත්තට ම අද වෙද්දි මට ආරංචි වෙලා තියෙනවා මේ පුද්ගලයා මට වගේ ම අපේ ප්‍රවීණ නිළියන්ට පවා දුරකථන ඇමතුම් ලබාදී තිබෙනවා කියලා.
මම ඉල්ලන්නේ මෙච්චරයි. මේ සහාය අධ්යක්ෂවරයා මගින් මේ පුද්ගලයාව හඳුනා ගන්න කියලයි. මම මේ සිදුවීමට මුහුණ දුන්නට පස්සේ අදාළ සහාය අධ්යක්ෂවරයා හමුවී ඉල්ලා සිටියෙත් මට ඔබත් එක්ක තරහත් නැහැ. ඔබ චෝදනා කරන්නෙත් නැහැ. නමුත් මේ පුද්ගලයා කවුදැයි හෙළිකරන්න කියලා විතරයි,” නිර්දා අවසන් වශයෙන් කීවාය.
කෙසේ හෝ වසරක පමණ කාලයක සිට මේ චෞර පුද්ගලයා කවුදැයි සොයමින් සිටි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට දැන් කිසියම් අස්වැසිල්ලක් ලැබී ඇත. ඒ තමන්ගේ කීර්ති නාමයට හිතාමතාම හානි සිදුකරමින් සැරිසරන මේ පුද්ගලයා නීතියේ රැහැනට ඉක්මනින් කොටුකර ගැනීමට හැකිවේ යැයි සුබවාදීව සිතන නිසා ය. ඒ අනුව, නොබෝ දිනකින් ඒ ‘චෞර සුනිල්’ ඔබට අපට දැන හැඳින ගන්නට හැකිවනු ඇත.