Press "Enter" to skip to content

ලිසිං ගෙවීම පැහැර හැරි වාහන හිමියාගේ දස හැවිරිදි පුතුගේ ගෙලමිරිකා වාහනය පැහැරගෙන

ලිසිං ගෙවීම පැහැර හැරි වාහනයක වාහන හිමියාගේ දස හැවිරිදි පුතුගේ ගෙලමිරිකා මරණ තර්ජනය එල්ල කොට වාහනව පැහැර ගත් සීසර්වරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ජුලි මස 02 වෙනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීම මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල් මහවත්ත මහත්මිය 19 දා නියෝග කළාය.

මෙම සිද්ධියෙන් පසු සැගව සිටියදී මීගමුව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කළ සැකකාර සීසර්වරයා වුයේ කොච්චිකඬේ පලගතුරේ තක්කියා පාරේ පදිංචි මාකස් නිව්ටන් කමල්රාජ් නැමැත්තෙකි. 2021 මැයි මස 8 වෙනිදිනවූ මෙම සිද්ධියෙන් පසු පොලීසිය මග හැර සැ`ගවී සිටි සැකකරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් පැමිණිලිකාර ව්‍යාපාරිකයා කොච්චිකඬේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වාහනයේ ලිසිං ගෙවීම පැහැර හැර තිබිණි.

ව්‍යාපාරිකයා තම බිරිඳ සහ කුඩා දරුවා සමග වාහනයෙන් අවශ්‍යතාවයක් සඳහා යමින් සිටියදී අතරමගදී මෙහි සැකකරු ඇතුළු පිරිසක් වාහනය පැහැර ගැනීමට උත්සාහ කර ඇත.

ඊට විරෝධය දැක්වූ වාහන හිමියා පොලිසියට යෑමට අවශ්‍යය බව පැවසූ අවස්ථාවේ එම වාහනයේ සිටි කුඩා දරුවා වාහනයෙන් ඉවතට ගෙන දරුවාගේ ගෙල මිරිකා මරණ තර්ජන එල්ල කොට වාහන පැහැරගත් බව පැමිණිල්ලේ දැක්වේ. ගෙල මිරිකා බාලවයස්කාර දරුවෙකුට අඩන්තේටම් කිරීම, මංකොල්ලකෑමට තැත්කිරීම, මරණ තර්ජන එල්ල කිරීම සැකකරුට එරෙහිව එල්ලවූ චෝදනා වේ. මෙම සිද්ධිය අදාලව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ලිසිං සමාගමේ කළමණාකරු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇත.

මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙල්සන් කුමාරණායක මහතා පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් නීතීඥ පද්මකුමාර මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුලි මස 2 වැනි දින පැවැත්වේ.

More from GossipMore posts in Gossip »