නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් තුන් දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා හමුවටයි ඉදිරිපත් කරනු ලැබුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් වුණා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන අතර ඇප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා කියාසිටියා.
මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇති බවයි.
ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියේ මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියම කළා.







