මහනුවර ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබා දෙන එන්නතෙහි පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීමට කැමති යැයි අත්සන් ලබා ගෙන ජනතාවට එන්නත් ලබා දී ඇතැයි වාර්තා විය.
ඒ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබිණි.
Sputnik V එන්නත එම ප්‍රදේශයේ ජනතාවට එන්නත් කර තිබූ අතර ‘ස්පුට්නික්-V එන්නත පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් එන්නත ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයට ඇතුළත් කර තිබිණි.
මේ පිළිබඳව අද (මැයි 31) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සහ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ පැවසීය.
“අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නෑ. ඒ පිළිබඳව එහෙම ප්‍රශ්නයක් තියනවා නම් අපි ඒක ප්‍රධාන මාධ්‍ය හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්. එහෙම දේකට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව එහෙම උපදේශයක් ලබා දීලා නෑ.”
නමුත් අදාළ සිදුවීම පිළිබඳව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති ඩී. නාගහතැන්න මහත්මියගෙන් mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඇය පැවසුවේ, “ඒක සෞඛ්‍ය අමාත්‍යංශයේ තීන්දුවක්. මගේ නෙමෙයි,” යනුවෙනි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අපි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධ කර ගතිමු.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙලෙස එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පත් කළ තාක්ෂණික කමිටුවක් මගින් දුන් තීරණයක් බව ය.
අද පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා උක්ත සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් නොදුන් බව පැවසුව ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පත් කර ඇති කමිටුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ද ඇතුළත් ය.
අදාළ කමිටුවේ සාමාජිකයන් වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මහජන සෞඛ්‍යය I) වෛද්‍ය එස්.එම්. ආර්නල්ඩ් (සභාපති), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය නාලිකා ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය හසිත තිසේරා, මහාචාර්ය නීලිකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන් වේ.
පසුගිය දා රුසියාවේ මෙරටට ලැබුණු Sputnik V එන්නත් මාත්‍රා 50,000 මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීමට තීරණය වූ අතර එන්නත්වල පළමු මාත්‍රාව ලැබුණ ද දෙවන මාත්‍රාව පිළිබඳව තහවුරු කිරීමක් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලැබී නොමැති බව ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ නිර්දේශ ලිපියෙහි සඳහන් වේ.
ඒ අනුව, පවතින විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ඉහත කී විද්වත් කමිටුව තීරණය කර ඇත්තේ ලැබුණු එන්නත් මාත්‍රා 49,800ක් කර්මාන්තශාලා සේවකයන් ඇතුළු වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට ය.
ඔවුන් සඳහන් කරන්නේ, වැඩිහිටි පුද්ගලයන්ට වඩා එම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එක් මාත්‍රාවකින් පමණක් වුවත් ප්‍රතිශක්තිය වර්ධනය වන බව ය.






