‘‘උගුරට ඇගිල්ල දමලා බලන විට කුරුම්බැට්ටය හසු වුණත් එය එළියට ගන්න බැරි වුණා’’ – පියා සාක්ෂි දෙමින් කියයි
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල
කුරුම්බැට්ටා ගෙඩියක් උගුරේ හිරවී ස්වශන මාර්ග අවහිරවීමෙන් මාස 11ක් වියැති දැරියක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ හේවාහන්දිගේ මනුලි විමංසා නැමති මිනුවන්දෙණිය කරාගොඩ ප‍්‍රාදේශයේ දැරිවියකි. ඇය නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මෙකී කුරුම්බැට්ටාව හිරවී ඇති බව සාක්ෂි විභාගයේ දී අනාවරණය වී ඇත. මියගිය දැරිවියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදු කරනු ලැබීය. මියගිය දැරිවියගේ පියා වන හේවාහන්දිගේ රුවන් කුමාර (38* නමැත්තා හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
‘‘මියගිය ගොස් ඇත්තේ මාගේ බාල දියණියයි. ඊයේ දහවල් මම වැඩට ගිහින් දහවල් කෑමට ගෙදර ආවා. බිරිඳ කුස්සියේ කෑම උයමින් සිටියා. මම දරුවන් දෙදෙනා සමග සාලයේ සෙල්ලම් කරමින් සිටියා. දරු දෙදෙනා සෙල්ලම් කරමින් සිටින විට කුරුම්බැට්ටි 02ක් තිබුණා. මම එකක් අරගෙන මිදුලට විසිකළා. අනික් කුරුම්බැට්ටිය පුතා අරගෙන කාමරයට දිව ගියා. මම කෑම ගන්න කුස්සියට ගිහින් කෑම එක ගත්තා විතරයි. ලොකු පුතා කෑගැසුවා නංගි කුරුම්බැට්ටිය ගිල්ලා කියලා. මම දුවගෙනවිත් බැලූවා. චූටි දියණිය බිම වාඩිවෙලා හිටියා. පුතා ඇය අල්ලාගෙන හිටියා. මා දුව ඇළ කරලා පිටට තට්ටුවක් දමලා උගුරට ඇගිල්ල දමලා බලන විට කුරුම්බැට්ටය හසු වුණා. නමුත් එය එළියට ගන්න බැරි වුණා. දුව බෙල්ල හොල්ල හොල්ලා හිටියා. 1990ට කථා කළත් එය ආවේ නැහැ. බිරිඳ දරුවාත් අරගෙන අල්ලපු ගෙදර යාළුවකු සමග ඉමදුව රෝහලට ගියා. මමත් වෙනත් බයිසිකලයකින් ගියා. දරුවා මියගිය බව වෛද්‍යවරු පරීක්ෂා කොට බලා කීවා. පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. රවින්ද්‍රන් මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා කුරුම්බැට්ටියක් හිරවී ස්වසන මාර්ගය අවහිරවීම නිසා මරණය සිදුව ඇති බවට තීන්දු කළේය.






