ග්‍රාම සේවක කොට්ඨාස වැනි කුඩා ප්‍රදේශ අගුලු දැමීමෙන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම පලදායී නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
පෙරේදා (10) ජනාධිපතිවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ අවසන් තීරණ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීම සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය සංගමය මේ බව ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන් කොවිඩ් 19 එක්සත් ජනපද ප්‍රභේදය අධික ලෙස සම්ප්‍රේෂණය වීම සහ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලබා ගැනීමේ ප්‍රමාදයක් පැවැතීම යන කරුණු පිළිබඳව සලකා බලන විට ආසාදිත පුද්ගලයන්ට, විශාල ප්‍රජාවක් වෙත රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බැවින් මෙලෙස කුඩා ප්‍රදේශ අගුලු දැමීම ප්‍රතිඵලදායක නොවේ. එසේම එන්නත්කරණ වැඩසටහන යනු කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා ඇති දිගුකාලීන විසඳුමයි. පලදායී ලෙස ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා මාත්‍රා දෙකක් සහිත එන්නත ලබා දීමට සති 6-8 අතර කාලයක් ගත වේ. එම නිසා එන්නත්කරණය, අර්බුදය සඳහා ඇති එකම සහ හොඳම විසඳුම නොවේ.
ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මධ්‍යයේ වුවද සංචරණ සීමා කිරීම, ආසාදිතයන් සංඛ්‍යාව අඩු කිරීමට පවතින එකම පියවර බව බොහෝ රටවලින් ලැබෙන සාක්ෂිවලින් පෙනී යයි. එම නිසා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව දිස්ත්‍රික්ක සහ පළාත්වල තෝරාගත් ඇතැම් ප්‍රදේශ අගුලු දැමීම ඇතුළුව 2020 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කළ කොවිඩ් 19 පාලනය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු යැයි එම නිවේදනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.






