Press "Enter" to skip to content

භික්ෂු වෙස් ගත් අභිරහස් පුද්ගලයා සොයා මෙහෙයුම්

මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට ඊයේ (16) දහවල් කාලයේ පැමිණි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස එම පුද්ගලයා සැකකටයුතු අයුරින් රැස්වෙහෙර විහාරස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වී ඇත. කෙසේ නමුත් ඔහු පිළිබඳව සැක සිතූ රැස්වෙහෙර රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින් ප්‍රශ්න කිරීමේදී ඔහු අසල පිහිටි කහල්ල රක්ෂිතය දෙසට පළාගොස් තිබේ.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සවස් කාලයේ සිට කහල්ල රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළද එම පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම පුද්ගලයා යම් කිසි අපරාධමය කටයුත්තක් කිරීමට පැමිණ ඇතැයි අනුමාන කරෙන අතර සැකකටයුතු පුද්ගලයා සම්බන්ධයන් ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත්කර තිබේ.

මේ අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718591287 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »