පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් හිටපු ජනාධිපතිවරයා වරදකරුවෙක් ලෙස නම් කර ඇති නිසා එතුමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද කළ යුතු නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
කාදිනල්තුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදිනය නිමිත්තෙන් දේවස්ථාන කිහිපයක සංචාරයේ යෙදුණු අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මාස ගණන් වසර ගණන් බලා සිටින්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව කී කාදිනල්තුමෝ සෙප්පඩවිජ්ජාවන් නොකර කඩිනමින් එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම එදා සහරාන්ලා සමඟ ගණුදෙනු කළ මැති ඇමතිවරු තවමත් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීම ලැජ්ජාවට කරුණක් බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් තම වගකීම් පැහැර හැර විදෙස්ගත වූ හිටපු ජනාධිපතිවරයා යළිත් ඡන්දය ඉල්ලන්නේත්, පක්ෂයක නායකත්වය දරන්නේත් රෙදි ඇඳගෙනදැයි තමා ප්‍රශ්න කරන බව කොළඹ අගරදගුරුතුමෝ කීහ.
එදා යුතුකම් අමතක කර ජනතාවගේ මරණවලට ඉඩ තැබූ අය යළිත් වගකීම් ඉල්ලා ඡන්දය ඉල්ලන්නට සැරසීම ලැජ්ජායට කරුණක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.






