Press "Enter" to skip to content

සෝරා-කසුන් ප්‍රේම විජිතයට පුංචි පුතෙකුත් එකතුවෙයි

ලෝකයට පුළුවන් ද උදුරන්න ආදරේ තව මලක් පීදිලා පිපුණු සකුරා මලේ…

මාස කිහිපයක් තිස්සේ ඇඬූ­ කඳුළින් සිටි සෝරා දැන් සිටින්නේ සිනාමුසු මුහුණිනි. ඇයගේ ඒ සතුට ට කාරණා දෙකක් බලපා ඇත. පළමුවැන්න හදවතින් බැඳී, ජීවිතය තරම් ආදරය කළ තම පෙම්වතා කසුන්ව යළි දකින්නට ලැබුණු නිසා ය. දෙවැන්න ඔහුට දාව උපන් කිරිකැටි සිඟිත්තා ඇගේ තුරු‍ෙල් සිටීම ය.

රටක් කතා කළ මේ ජපන් පෙම්වතියගේ අලුත් වටපිටාව එහෙම ය.

‘කසුන් හා සෝරා’ ගැන ‘මව්බිම’ තරම් කතා කළ වෙනත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයක් නැති තරම්. “ඔයගොල්ලෝ තමයි මේ දරුවන්ගේ ඇත්ත කතාව රටට කිව්වේ. ඒකට බොහො ම ස්තූතියි.”

හැමදාමත් කසුන් හා සෝරා වෙනුවෙන් පෙනී සිටි ඔවුන්ගේ පුංචි අම්මා කෙනකු අප සමග කීවාය. ඒ පසුගිය 22 වන දා අහඹු ලෙස ඇය මුණගැසුණු මොහොතකය. එදා ඇය පැමිණ සිටියේ කුලුඳුලේ ම උපන් කසුන්ගේත් සෝරාගේත් දරු පැටියාගේ සුවදුක් බැලීමට ය.

පිරිමි දරුවෙකු වූ මේ සිඟිත්තා නිරෝගීව මෙලොව එළිය දුටුවත් ඔහුගේ පියා සහ මව දරු ප්‍රසූතියට මාස තුන හතරක් ඉතිරිව තිබියදී අත්විඳි අප්‍රමාණ දුක් කන්දරාව කවදා හෝ දැනගනු ඇත. එය මෙලොව කිසිදු ගැබිනි මාතාවකට උරුම නොවිය යුතු දුක්බර අත්දැකීමකි. කිසිදු පියෙකුට උදානොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

සෝරා සහ කසුන් ගැන මෙරට ජනමාධ්‍ය තුළින් මුල්වරට කතාබහ කරන්නට පටන් ගත්තේ පසුගිය වසරේ නොවැම්බර් අග සතියේ ය. ඉන් අනතුරුව ඔවුන් නීතියේ රැහැනට හසුවී, විශේෂයෙන් ම කසුන් රිමාන්ඩ් භාරයට පත්වන්නේ පසුගිය දෙසැම්බර් 3 වන දා ය. සෝරාට උරුම වන්නේ ලුනාව ළමා නිවාසයයි. ඒ ඇය බාල වයස්කාර තරුණියක් වූ නිසාවෙනි.

නීතිය ඉදිරියේ වරදක් වුවත් කසුන් හා සෝරාගේ කතාව දෙස අප බැලුවේ මානුෂික ඇසකිනි. ඒ ඔවුන්ගේ ආදර කතාව තුළ තිබූ කටුක හා ශෝචනීය වටපිටාව සලකා බලා ය.

සෝරා, කසුන් සමග ආදර සබඳතාවක් ගොඩනගා ගන්නේ ඇගේ මවගේ අනුදැනුම මතය. එහෙත් තම මව සමඵ හාදවෙන කසුන්ගේ ම හිත මිතුරෙකු නිසා මේ ආදර කතාවට එරෙහිව ඇති වන බාධක හා තර්ජන මෙන්ම කුමන්ත්‍රණ ගැන අපි ඔබට එදා කීවෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස සෝරා සහ කසුන් ලංකාවට පැමිණෙන්නේ ගෙදරට හොරා ය. එහෙත් ඔවුන්ට කටුනායක ගුවන්තොටුපොළින් එළියට එන්නට ලැබෙන්නේ නැත. කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයට හසුවන ඔවුන්ට එතැන්සිට සිදුවන්නේ අනේකවිධ දුක් කරදරවලට මුහුණදීමට ය.

අවසානයේදී ඔවුන් රහසේ ම පැනගොස් මාස අටකටත් වඩා වැඩි කාලයක් සැඟවී ජීවත් වෙන්නේත් ගිවිස ගන්නේත් මැරෙනතුරු එකට සිටින සේ අදිටන් කරගනිමිනි.

මේ කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සෝරාගේ මව ජපන් තානාපති කාර්යාලයේ උදවු ඇතිව නීතිය ඉදිරියට යන්නේ සෝරාවත් කසුන්වත් වෙන් කිරීමේ අදහසිනි. ඊට සෝරාගේ මවගේ අලුත් සැමියා වූ අපේ රටේ කොස්තාගෙනුත් ලැබෙන්නේ ඉහළ ම සහයෝගයකි. ‘මව්බිම’ මේ කතන්දරයේ සුලමුල සොයා වෙහෙසෙන්නේ එයින් පසුව ය.

“සෝරාගේ තාත්තා මැරිලා. ඇයට ලොකු දේපළක් උරුමයි. ඒ උරුමය කොල්ලකා ගන්න තමයි සෝරාට මේ විධියට බලපෑම් කරන්නේ. එයාව මගෙන් වෙන් කරන්න හදන්නේ. ඒත් මම කියන්නේ මට සත පහක්වත් එපා. සෝරා කියන්නේත් ඒකමයි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න.”

රිමාන්ඩ් හිරගෙදර ජීවත් වූ කසුන් ඇප ලබා එළියට ආ දිනක අපට හමුවිණි. එදා ඔහු ඉල්ලා සිටියේ පවුල ආරක්‍ෂා කර ගැනීමට උදවු ලබාදෙන ලෙස ය.

කසුන් හා සෝරා පුදුමාකාර ආදරවන්තයන් ය. ඔවුන් ජපානයෙන් නික්මී ලංකාවට එන්නේ සැනසිල්ලේ ජීවත් වන්නට ය. විවාහ වී එක ගෙයක ජීවත්වීමට ය. එහෙත් මෙරට නීතිය ඉදිරියේ ඔවුන්ට සිදුවන්නේ දෙතැනක හුදෙකලා වී සිටින්නට ය.

ලුනාව ළමා නිවාසයේ ජීවත් වූ සෝරා බාල වයස්කාර දැරියක් වුවත් ඇය සිටියේ පෙර ප්‍රසව මානසික ආතතියකින් යුතුව ය. ඒ ආතතිය ස්වාමියා හා එකට ජීවත්වීමට තිබූ නොහැකියාව නිසාම දරුණු වී තිබිණි. සෝරා සිටියේ කල්පනා ලොවක අතරමං වී හුදෙකලාවය. ඇය සිටි නිවාසයේ සියලු ම දෙනා මේ තත්ත්වය වටහා ගෙන ඇයට මානුෂිකව සලකන්නට වග බලා ගත් බව දැන ගන්නට තිබේ.

සෝරා පුදුම සහගත ලෙස කසුන්ට ආදරය කළ අපේ කාලයේ ආදරවන්තියකි. ඇය සිතුවේත් පැතුවේත් කසුන් ගැන ම පමණි. කසුන් ඇගේ ඒ ආදරය මැනවින් වටහා ගෙන තිබිණි. ඔහු ඒ නිසාම නීතිය ඉදිරියට ගොස් නිරන්තරයෙන් ම ප්‍රාර්ථනා කළේ, සෝරාව බැලීමට හා ඇය සමග කතාබහ කරන්නට හැකි ආකාරය ය. එහෙත් ඒ අවසරය ඔහුට ලැබුණේ ද දහසක් බාධක හා වේදනාකාරී අත්දැකීම් රැසක් මැද ය.

ආදරය හිතට ඇතුළු වූ දා සිට ම සෝරා ඒ ආදරය බාල කළේ නැත. ඇය ජපානයේදී අල්ලා ගත් කසුන්ගේ සුරත අතහැර දමා මොහොතකුදු තනිව සිටින්නට අපේක්‍ෂා නොකළා ය. එය නීතිය ඉදිරියේදීත් මනාව පෙන්නුම් කළේ ය.

කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් මේ ආදරණීය දුක්බර කතාවට නීතිය ඉදිරියේදී ම මානුෂික සහනයක් ලැබුණේ ය. ඒ අනුව පසුගිය සතියේ සෝරාව කසුන්ගේ ලොකු අම්මාගේ භාරයට පත් කෙරිණි. ඒ දරු ප්‍රසූතියට දින කිහිපයක් ඇති බව උසාවිය ඉදිරියේ සනාථ වූ බැවිනි.

“ලොකු අම්මාගේ භාරයට පත්වුණාට පස්සේ අපි ඇයගේ දරු ප්‍රසූතියට අවශ්‍ය පහසුකම් සැලැස්සුවා. ඇයව රෝහලකට ඇතුළත් කළා.

ඇය රෝහල් ගත වුණ දවසේ ඉඳලා ම සෙව්වේ කසුන්ව ම යි. කසුන් ළඟ ඉන්නට ඕන වුණා. මම දන්නේ නැහැ ඒක නම් පුදුම ආදරයක්.”

රෝහල්ගත වී සිටි සෝරා වරෙක කසුන්ව සොයා ගැබිනි වාට්ටුවෙන් පවා එළියට දිව ආවේ ය. ඒ කසුන්ගේ අඩුව ඇයට දැනුණු අනපේක්‍ෂිත මොහොතක ය.

“කසුන් මගේ ළඟ ඉන්න ඕන. එයාව මට ඕන.” ඇය ඉල්ලා සිටියා ය.

කෙසේ හෝ තවත් පැය කීපයකින් පසුව සෝරා තම කුළුඳුල් දරු පැටියා මෙලොවට බිහි කළා ය. ඒ පිරිමි දරුවා අතිශය සුන්දර දරු පැටියෙකි.

අවුරුද්දකට අධික කාලයක් පුරාවට සැඟ වී, සිත්තැවුල් කන්දකට යටවී සිටි කසුන් – සෝරා දෙපොළ දැන් සිටින්නේ අපරිමිත සතුටකිනි. ඒ සතුටට හේතු කාරණා වූ තවත් බොහෝ දේ දැන් සිදුවෙමින් පවතී.

“සෝරාගේ අම්මත් දැන් ඇයට කතා කරනවා. අම්මා දැන් කැමැත්තෙන් ඉන්නවා සෝරාවත් කසුන්වත් විවාහ කරවන්න. වයස අවුරුදු 16ක් නිසා මවුපියන්ගේ කැමැත්තෙන් ඒ විවාහය සිදු කරන්න පුළුවන්.

ඒ වගේ ම ජපන් තානාපති කාර්යාලයත් ඒ කටයුත්ත සිදු කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේ ම ඒ දෙන්නට අකටයුතුකම් කරපු අයත් දැන් උදවු කරන්න ඉදිරිපත් වන බවක් පෙනෙනවා.”

සෝරා දැන් වාසනාවන්ත තරුණ මවකි. ඇය මේ වෙද්දී ගත කරන්නේ ඒ සුන්දර අත්දැකීම ය. ඇය ඉතසිතින් ප්‍රාර්ථනා කළ ආදරය දැන් ඇයට හිමි ය. ඒ ආදරයෙන් ලැබුණු වටිනා ම සම්පත දැන් ඇගේ තුරුලේ ය.

සෝරා ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ එක ම දියණිය වුවත් ඇය හැම විට ම අපේක්‍ෂා කළේ ආදරය පිරුණු සාමාන්‍ය භෞතික සම්පත් ඇති වටපිටාවක ජීවත් වීමටය. දැන් ඇය සතු ඒ ලෝකය ඇයට උරුම වී ඇත.

කසුන්ට හා සෝරාට මේ වාසනාවන්ත ජීවිතය ළඟාවීමට, එසේත් නැති නම් ළඟා කරදීමට මූලික වූ පිරිස බොහෝ ය. ඔවුන් මානුෂික ඇසකින් මේ කාරණය දෙස බැලුවේ ය. නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය කෙසේ වෙතත් නීතිඥ නෝනා-මහත්වරුන් මෙන් ම තීන්දු තීරණ දෙන මහෙස්ත්‍රාත් අධිකරණය පවා මේ ගැටලුව දෙස බැලුවේ මානුෂිකව ය. අද කසුන් – සෝරා පමණක් නොව ඔවුන්ට හිතැති බොහෝ දෙනා ඒ උදවිය ගැන ගෞරවයෙන් යුතුව කතා කරන්නේ ය.

More from GossipMore posts in Gossip »