Press "Enter" to skip to content

රට පවුල් කිහිපයක බූදලයක් වෙලා

2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් ජාතික ජන බලවේගය සංවිධානයකළ පොහොසත් රටක් ලස්සන දිවියක් උදාකරන නව පුනරුද මඟට රට හරවන ජනරැළිය ඉකුත් (24) වෙනිදා වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතා විසින් මෙම රැළිය සංවිධානයකර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පා.ම ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා, හරිහමන් ආහාර වේලක් නැති.ලෙඩට බෙහෙතක් නැති.නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකි දුප්පත්කමින් පිරි අපේ රට පොහොසත් රටක් කිරීමට ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

මේවන විට ශ්‍රීලාංකීය බහුතර ජනතාව දුප්පත්කමින් වෙලී සිටිනවා. ගෙලබැඳි රන්මාලය මඟුල් මුද්ද පවා උකසට තබලා. එපමණක් නොවෙයි පුංචි දරුවාගේ පංචායුධයද තිබෙන්නේ බැංකුවක හෝ උකස් මධ්‍යස්ථානයකයි. නමුත් රටේ පාලකයින් සුරසැප විඳිනවා. මෙම ක්‍රමය වෙනස්කළ යුතුයි.

ජනතාව දුප්පත් වන පාලකයින් පොහොසත් වන ක්‍රමය වහාම වෙනස්කළ යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එය කළ හැකියි. ඒ සඳහා සියලුම ජනතාව ඒකරාශීවී ජාතික ජන බලවේගයට රට භාරදෙන ලෙස ඉල්ලා සිටිනවා .අපේ රට සම්පත් වලින් පිරුණු රටක්. ඔක්කම්පිටිය,ඇලහැර,රත්නපුර ප්‍රදේශ වල මැණික් බහුලව තිබෙනවා.

නමුත් එම සම්පත ලබාගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ. ලැබෙන මැණිකට නිසි මුදලකුත් ලැබෙන්නේ නැහැ. සරුසාර බිමක් අපට හිමි නමුත් කෘෂිකර්මය දියුණුකොට සරුසාරබිමෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. ගොවියා දිනෙන් දින ආර්ථික අහේනියකට පත්වෙමින් තිබෙනවා. මෙම තත්වයෙන් රට වහාම ගොඩගත යුතුයි. ජලයෙන්, සූර්යබලයෙන් අපට අවශ්‍ය විදුලිය ලබාගත හැකි වුවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නැහැ.

සුළඟත්,ජලයත්,හිරුඑළියත් පිටරට වලට විකුණන්නයි හදන්නේ.නමුත් අපේ රජයක් යටතේ ඒ සියලුම සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ලබාගෙන රටට අවශ්‍ය ආදායම ලබාගැනීමට කටයුතු කරනවා. අද අපේ රට පාලනය කරන්නේ පවුල් දේශපාලනයයි.තාත්තා ජනාධිපති. සහෝදරයන් ඇමතිවරු.පුතාලා රාජ්‍ය ඇමතිවරු. මස්සිනාලා තානාපතිවරු.ඒ අනුව රට පවුල් කිහිපයක බූදලයක් බවට පත්වෙලා.අපි ඒ ක්‍රමය වෙනස් කරනවා.

සජිත් ජනාධිපති උනයි කියල වෙන්නෙත් ඒ ටිකම තමයි.දැන් සජිත් හොරුන්ට දඬුවම් ලබාදෙන බවට පැවසුවත් ඔහු වටේ සිටින්නේද හොරු කණ්ඩායමක්.කිසිසේත් සජිත් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ.ආරක්ෂාකිරීම පමණයි කරන්නේ.නමුත් ජාතික ජනබලවේගය යටතේ සොරකම්කළ සියළු දෙනා පිළිබඳව සාධාරණ පරීක්ෂණ පවත්වා ඔවුන් නීතිය හමුවට ගෙනඑනවා.අසාධාරණ ලෙස හම්බකළ මිල මුදල් රජයට ගන්නවා.එවැන්නක් කළ හැක්කේ අපට පමණයි.

එම කටයුතු එකවරම කළ නොහැකියි. ආර්ථික තත්වය වැඩිදියුණු වන තෙක් සෑම දුප්පත් පවුලකටම ජීවත්වීමේ ප්‍රමාණවත් මුදලක් රජය මඟින් ලබාදෙනවා. බදු පැහැරහැර සිටින පුද්ගලයින්ගෙන්බ දු ආපසු අයකර ගන්නවා. එම බදු මුදල් රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් වැය කරනවා. රට වර්තමානයේ පත්වී තිබෙන තත්වය පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා.

රට කාපු අය ගැන ඔවුන් හොඳටම දන්නවා.එවැනි කණ්ඩායම් වලට යළි රට භාරදෙන්නට ජනතාව සූදානම් නැහැ.සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්රොක්වී සිටින්නේ ඒ නිසයි.සැප්තැම්බර් විසිඑක් වෙනිදා ජනාධිපතිවරණයේදී සියලුම දෙනා මාලිමාවට ඡන්දය ලබාදී ජනතාවගේ රජයක් පිහිටුවීමට කටයුතුකරන ලෙස ඉල්ලා සිටිනවා.”