Press "Enter" to skip to content

ක්ලබ් වසන්තට වැඩේ දෙන්න ලොකු පැටී ගහපු ගේම ටිකෙන් ටික එළියට

YOUR EXISTING AD GOES HERE

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ්” වසන්ත” ඝාතනය කර අදට දින 21කි. 

මෙම කාලය තුළදී ක්ලබ් වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් දෙදෙනා හැරෙන්නට ඊට ආධාර අනුබල දුන් සෙසු පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හමාරය. තුවක්කුකරුවන් තවම නිදැල්ලේ සිටියද ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙනද අවසන්ය.

එමෙන්ම ක්ලබ් වසන්ත ඝාතනයේ සුලමුලද මේ වන විට හෙළිකර ගැනීමටද නිලධාරීන්ට හැකිවී ඇත. ක්ලබ් වසන්ත ඝාතන සැලැස්ම දියත් කර ඇත්තේ මීට මාස දෙකකටත් පෙර සිටය. මෙම සැලසුම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංජීව පුෂ්පකුමාර නොහොත් ලොකු පැටී නමැත්තාය.

ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මතය. දැනට කර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මාකඳුරේ මධූෂ්ට හිමි විශාල මුදලක් ක්ලබ් වසන්ත සන්තකයේ ඇති බවත් එම මුදල යළි ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මත ලොකු පැටීගේ මෙහෙයවීමෙන් වසන්ත ඝාතනය කර ඇති බවය.

වසන්තගේ ඝාතනය ගැන බොහෝ කතා මේ වන විට ලියැවී ඇත. සමාජ මාධ්‍යයද ඔහු ගැන බොහෝ තොරතුරු හෙළිකර තිබිණි. එහෙත් වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ වසන්ත මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනා සෙසු අයට හඳුනා ගැනීම සඳහා ලොකු පැටී ඉඩ ප්‍රස්තාව ලබාදී නොතිබූ නිසාය.

“උඹලට උන් දෙන්නා කවුද කියලා වැඩක් නෑ. උඹලට දුන්න ජොබ් එක විතරක් හරියට කරපන්. උන් දෙන්න එක්ක උඹලා කතාවට යන්න ඕන නැහැ. මම ඒ ටික කරන්නම්.”

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ කරගත් කිහිපදෙනාට ඒ ලොකු පැටී දුන් නියෝගය විය. ඒ නියෝගය කඩකිරීම එතරම් සුබදායී නොවන බව සැවොම දැන සිටියහ. ලොකු පැටීට ඇති බියත් පක්ෂපාතීත්වයත් නිසා ඔවුන් තම තමන්ට පැවරූ රාජකාරිය නිවරැදිව ඉටු කළා මිස වසන්ත මැරූ තුවක්කුකරුවන් කවුද යන්න සොයන්නට ගියේ නැත.

කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ තුවක්කුකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන අවසන් බවය. ඔවුහු යුද හමුදා පුහුණුව ලැබූ අය වෙති. එමෙන්ම හමුදා සේවය අතහැර ගියවුන් බවද පොලිසියේ සැකයයි.

වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් රටින් පලාගිය බැව් සමහරුන් කියතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔවුන් තවමත් මෙරට රැඳී සිටින බවකි. වසන්ත ඝාතන සැලැස්මේ ප්‍රධාන භූමිකාව සිදුකළේ මෙම තුවක්කුකරුවන් දෙදෙනාය. ඒ රුපියල් කෝටි ගණනක මුදලකට විය යුතුය. කෙසේ වෙතත් ඔවුන් මෙහෙයවූයේ ඩුබායි සිටය. ටී-පනස් හය ඔවුන් අතට ලැබුණේ එරටින් ලැබුණු නියෝග මතය. කෙසේ වෙතත් තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරය ලොකු පැටී ඩුබායි සිට සිය ජංගම දුරකථනයෙන් සජීවීව නැරැඹුවේය. ඔහුට ඉන් දැඩි සතුටක් ඇති විය. ඒ සිය අරමුණ ඉටුවීම නිසාය.

වසන්ත ඝාතනය කිරීම ලොකු පැටීගේ එකම අරමුණය. ඔහු ටැටූ ශිල්පියා සම්බන්ධ කරගනුයේ ඒ අදහසින්ය. දුලාන් සංජුල ලොකු පැටීට සම්බන්ධ කර දෙනුයේ මහේෂ් නමැත්තාය. ඔහු හිටපු යුද හමුදා සෙබළෙකි. හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් වූ ඔහු පැටීගේ සමීපතමයකු වන්නේ ඔහුගේ ගමද අහුන්ගල්ල වීම නිසාය.

දුලාන්ට ටැටූ ෂොප් එක දාන්න ලක්ෂ 16ක් එව්වේ ලොකු පැටීය. එම සැලසුම නිසි අයුරින් ක්‍රියාත්මක විය. කෙසේ හෝ ලොකු පැටීට අවශ්‍යව තිබුණේ ටැටූ ෂොප් එකේ ඕපන් එකට ක්ලබ් වසන්ත ගෙන්වා ගැනීමටය. එයද සාර්ථක විය. “ඕපන්” එක ඩුබායි සිට සියැසින් දැකබලා ගැනීම සඳහා ටැටූ හලේ සී.සී.ටී.වී. කැමරා දත්ත “බ්ලූ ටූත්” ඔස්සේ පැටීගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර තිබිණි.

වසන්ත ඕපන් එකට එන බව ස්ථිරවම තහවුරු කරගත් පසු ප්‍රහාර සැලැසුම සකස් විය. තුවක්කුකරුවන්ට ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණීමට සහ ප්‍රහාරයෙන් පසු පලා යෑමට මෝටර් රථයක් සූදානම් කෙරිණි. එය ඉටු කිරීම භාරගෙන තිබුණේ මහේෂ්ය.

වසන්තට වෙඩි තැබීමෙන් පසු යළි එම මෝටර් රථයට ගොඩවන තුවක්කුකරුවන් අතරමඟදී වෑන් රියකට දමා ගැනීමද සැලැස්මේ එක් අදියරයක් විය. ඒ සඳහා වෑන් රියක් සූදානම් කෙරුණු අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ පුද්ගලයකු වෙත ලබාදී තිබිණි. ඔහු මුදල් පොලියට දෙන අයෙකි. ඩුබායිවලින් ලැබුණු උපදෙස් මත පනාගොඩ හමුදා කඳවුර අසලට ගිය ඔහු කඳවුර ආසන්නයේ නතර කර තිබූ වෑන් රිය රැගෙන විත් බෙලිඅත්ත දම්මුල්ල, ගල්වඩුගෙදර නිවෙසේ නතර කර තැබීමට වගබලාගෙන ඇත.

වෑන් රථයේ බැටරිය බැසීමට ඉඩ නොතබා දෛනිකව එහි එන්ජිම ක්‍රියාත්මක කරමින් එය ධාවන තත්ත්වයේ තබා ගැනීමටද ඔහු කටයුතු කර තිබිණි. දුරකථන ඇමැතුමක් ලබාදුන් සැණින් වෑන් රිය අදාළ තැනට ගෙනැවිත් දිය යුතු බව ඩුබායිවලින් ලැබුණු නියෝගය විය.

එම වෑන් රියෙන් මඳ දුරක් ගොස් ඉන්පසුව ඔවුන් ගොඩ විය යුත්තේ බස් රියකටය. බසයක් මිලදී ගැනීම සඳහා ලොකු පැටී රුපියල් ලක්ෂ 40ක් සිය ඥාතියකුට එවීය. එම ඥාතියාගේ බිරියගේ පියාගේ නැඟණියගේ පුතා ලොකු පැටීය. ඒ ඥාතිකම සහ විශ්වාසය මත රුපියල් ලක්ෂ 40ක් මෙරටට එවීමෙන් පසු ගලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් බස් රථයක් මිලදී ගැනීමට ඥාතියා උත්සුක විය.

බස් රියක් මෙවන් පාතාල ප්‍රහාරයක් සඳහා යොදවා ගන්නේ පළමු වතාවටය. ඊට එක් හේතුවක් වන්නේ ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් බස් රියකට ගොඩවී පලා යනු ඇතැයි පොලිසිය කෙසේවත් නොසිතන නිසා වන්නට ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රථය කතරගම තෙක් ධාවනය කළ යුතුය.

අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ දැන්වීමකට අනුව රුපියල් ලක්ෂ 40ක් ගෙවා බස් රිය මිලදීගෙන තිබිණි. බස් රිය මිලදීගෙන තිබුණේ මිරිස්ස පොල්අතුමෝදර පදිංචිකාරියක් වූ 21 හැවිරිදි සංජුලාගේ නමටය. ඇගේ සැමියා වූ අසංග සිටින්නේ හිරේය. ඔහු ඇතුළට ගොස් තිබුණේ “කුඩු” නඩුවක් නිසාය. මාතර බන්ධනාගාරයේ සිට සැමියා විසින් ලබාදුන් උපදෙස් මත බිරියගේ නමට බස් රිය මිලදී ගනු ලැබිණි. ජූලි 1 වැනිදා එම බස් රිය විකුණා ඇති අතර මතුගම-කොළඹ 431 මාර්ගයේ ධාවනය වූ එම බස් රිය මගීන් රහිතව කඩුවෙලට ගෙන්වාගෙන ඇත.

සැලැසුමේ ඊළඟ අදියර වූයේ ටැටූ ෂොප් එක ආසන්නයේ නිවෙසක් මිලදී ගැනීමය. එය ඉටු කරදීම භාරගත්තේ ලොකු පැටීගේ සමීපතමයෙකි. ඒ අනුව අතුරුගිරිය, ගල්පොත්ත ප්‍රදේශයෙන් නිවෙසක් කුලී පදනම මත මිලදී ගනු ලැබූ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 6ක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැර වූයේ ලොකු පැටීගේ උපදෙස් මතය.

විමර්ශනයේදී හෙළි වූයේ ක්ලබ් වසන්ත ඝාතනයට දින දෙකකට පෙර එනම් ජූලි මස 6 වැනිදා එම නිවෙස එකී තරුණියගේ නමට ලබාගෙන ඇති බවය.වසන්ත ඝාතන සැලැස්ම පැටී විසින් ක්‍රියාත්මක කෙරුණේ එලෙසිනි.

බෙලිඅත්තේ පදිංචි මුදල් පොලියට දෙන තැනැත්තාට ලැබුණු ඇමැතුමකට අනුව ඔහු සිය නිවෙසේ රඳවාගෙන තිබූ වෑන් රිය ප්‍රහාරයට දින දෙකකට කලින් බෙලිඅත්තට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකුට භාර දී ඇත.

වෑන් රිය එලෙස සූදානම් කෙරුණු අතර තුවක්කුකරුවන්ට ප්‍රහාරයට පැමිණීම සඳහා අවශ්‍ය මෝටර් රිය ඒ වන විට ගාල් කර තිබුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. ලොකු පැටීගේ උපදෙස් මත 7 වැනිදා රාත්‍රියේමහේෂ් අම්බලන්ගොඩට ගියේය. ඒ අතරතුර තුවක්කුකරුවන් වෑන් රියෙන් ගල්පොත්ත නිවෙසට පැමිණ තිබිණි. ඔවුන් වෑන් රියට ගොඩ වී තිබුණේ අහුන්ගල්ලෙනි. තුවක්කුකරුවන් 7 රාත්‍රිය ගතකර තිබුණේ ගල්පොත්ත එම නිවෙසේය.

පසුදාට පහන් විය. අම්බලන්ගොඩට ගිය මහේෂ් අලුයම හතර වන විට ගල්පොත්තට පැමිණියේය. ඒ, සුදු පැහැති මෝටර් රථයද රැගෙනය. රථයේ අංක තහඩු වෙනස් කර තිබිණි. රථය යළිත් නිවෙස තුළ සිටි පුද්ගලයකුට භාර දුන් මහේෂ් එතැනින් නික්ම යද්දී ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන්ට පලායෑම සඳහා සූදානම් කර තිබූ බස් රියද අතුරුගිරියට ගෙනැවිත් තිබිණි. සියල්ල සිදුවන්නේ ලොකු පැටීගේ උපදෙස් මතය. තුවක්කුකරුවන් සමඟ වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් කළයුතු දෑ ගැන ලොකු පැටී ඔවුනට උපදෙස් දුන්නේය.

“ඉවරවෙනකම්ම ගහපන්. පණ චුට්ටක්වත් තියෙන්න බැහැ…”ඒ ඩුබායි සිට ලැබුණු නියෝගයයි. ක්ලබ් වසන්තගේ පණ අවසන් වනතුරු ප්‍රහාරය එල්ල කිරීමට තුවක්කුකරුවන්ට උපදෙස් දී තිබිණි.

“ටැටූ ෂොප් එකේදී වසන්ත මිස් වුණොත් ෂොප් එකෙන් පහළට බහිද්දී හරි මහ පාරේදී හරි ගහන්න තමයි ප්ලෑන් එක තිබුණේ. ඒත් වසන්ත ටැටූ ෂොප් එකේ කිරිබත් කකා ඉන්නවා කියලා ඔත්තුව ගිය ගමන් “ෂූටර්ලා” දෙන්නා එතැනට එව්වේ එතැනදී ලෙහෙසියන්ම ගහන්න පුළුවන් නිසයි.” විමර්ශන නිලධාරියෙක් කීවේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවැසුවේ ටී පනස් හය දෙකකින්ම වසන්තට ගහන්න හේතුව ලොකු පැටීගෙයි කංජිපානිගෙයි බලය පෙන්නන්න වෙන්න ඕන.අනෙක වසන්තව කොහොමර හරි ඉවර කරන්න වෙන්නත් පුළුවන්.”

සැලැසුමට අනුව ප්‍රහාරය තිතටම සිදුවිය.

සුදු පැහැති මෝටර් රියෙන් පැමිණෙන තුවක්කුකරුවෝ දෙදෙනා වසන්ත ඉලක්ක කරගෙනම ටී පනස් හය ගිනි අවියේ “කොකා” ඇඟිල්ලේ රුවාගෙන සිටියහ. වැදුණු වෙඩි ප්‍රහාරයෙන් බේරීමට වසන්තට කෙසේවත් නොහැකිය. ඒ තරම් ප්‍රහාරය දරුණු විය.

වසන්ත මැරී වැටෙනතුරු වෙඩි තැබූ තුවක්කුකරුවෝ පැමිණි මෝටර් රථයෙන්ම පලා ගියහ. නවගමුවේදී ඔවුන් වෑන් රියට ගොඩවන්නේ පෙර ලබාදුන් උපදෙස් අනුවය. වෑන් රිය පැදවූයේ ලොකු පැටීගේ ගෝලයකු වන අහුන්ගල්ලේ කසුන්ය. මඳ දුරක් ගිය තුවක්කුකරුවන් ඊළඟට ගොඩවන්නේ, ලේලන්ඩ් බසයටය. එය පදවන්නේ මධුසංඛය. ලබාදුන් උපදෙස් මත මගීන් රහිත බසය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සෙල්ලකතරගම බලා ධාවනය විය. තුවක්කුකරුවන් දික්වැල්ලෙන් බසයෙන් බැස ගිය බව කියැවේ..

විමර්ශන නිලධාරීන් පලා ගිය තුවක්කුකරුවන් සොයා විමර්ශන ඇරැඹූ අතර එම විමර්ශනයේදී ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් 7 දෙනකුම කොටුවීම විශේෂත්වයක් විය. ඔවුන් අහුන්ගල්ල, බොල්ලත්තාව, අම්බලන්ගොඩ බෙලිඅත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම ඊළඟට අත්අඩංගුවට ගෙන තිබුණේ තුවක්කුකරුවන් පලාගිය බස් රියේ ලියාපදිංචි හිමිකාරිය වූ 21 හැවිරිදි තරුණියයි. ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී වසන්ත ඝාතනයට ප්‍රවාහන පහසුකම් සැලැසූ රියැදුරන් දෙදෙනකු කොටුකර ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත් විය.

ඉන් එක් රියැදුරකු වූයේ කසුන්ය. ඔහු තුවක්කුකරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් වෑන් රිය පැදවූ රියැදුරාය.

අනෙකා මධුසංඛය. ඔහු තුවක්කුකරුවන් අධිවේගී මාර්ගය දිගේ රැගෙන යෑමට බස් රිය පැදවූ රියැදුරාය. මධුසංඛ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කසුන් මීගම මරින්දගොඩ පදිංචිකරුවෙකි. ඔහු මාළු වෙළෙදාමේ නිරත වූවෙකි.

ලොකු පැටී මොවුන්ගෙන් ලබාගත් සේවය සඳහා මුදලක්ද ගෙවා තිබිණි. වෑන් රථයේ රියැදුරා වූ කසුන්ට රුපියල් එක්ලක්ෂ විසිපදහසක මුදලක්ද, අනෙක් රියැදුරාට රුපියල් ලක්ෂයක්ද ඒ වන විට ලබා දී ඇති බව විමර්ශනයේදී හෙළිකරගත හැකිවිය.

ක්ලබ් වසන්ත ඝාතනයට මෙලෙස ආධාර අනුබල දුන් 9 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මෙම පිරිස අතරින් එක් පුද්ගලයකු සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටි අතර ඔහුට රහස් ප්‍රකාශය ලබා දීමට ද පියවර ගෙන තිබුණේය. එලෙස අවසර හිමි වූයේ ටැටූ ආයතනයේ හිමිකරු වූ දුලාන් සංජුලටය.

කෙසේ වෙතත් ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් මුළු දකුණු පාතාලයම සෙලවී ගියේය. ඒ, ලොකු පැටී විසින් එම ඝාතනය මෙහෙය වූ ආකාරය සැලවීමත් සමඟය. පාතාලයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක පෝස්ටර් යුද්ධයක් ඇරැඹුණේ ඉන් පසුවය.

“අපේ අයියේ එක් එක්කෙනා එවනවා අපි එනකම් බලාගන්න – කේ.පී.අයි.” යනුවෙන් සමහරක් බැනර්වල සටහන් වූ අතර “පාතාලයේ හැම එකෙක්ම මධුෂ් ගිය තැනට යන්න සැරැසියල්ලා. කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටද එම දඬුවමයි” යනුවෙන් තවත් බැනරවල සහ දැන්වීම්වල සඳහන් විය. ඒ අනුව පෙනී යන්නේ ක්ලබ් වසන්තගේ මරණයෙන් පසු පාතාල කල්ලි අතරද ගැටුම් ඇති වී ඇති බවය. එය තවත් තහවුරු වන්නේ පොලිස් වෙඩි පහරින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ අනියම් බිරියට සහ මධූෂ්ගේ සහෝදරයකුටද සංවිධානාත්මක කල්ලියකින් මරණීය තර්ජන එල්ල කිරීම නිසාය. මධූෂ්ගේ සොහොයුරා පුද්ගලයකුගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය මොහොතක “උඹලා මධූෂ් ගිය තැනටම යන්න ලෑස්ති වෙයන්” යනුවෙන් පවසමින් තර්ජනය කර තිබිණි.

ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් පසු ඇති වී ඇත්තේ මෙවන් වාතාවරණයකි. ක්ලබ් වසන්තගේ ඝාතකයන්ද මේ වන විට නිදැල්ලේය. එය එතරම් සුබවාදී නොවන බව විමර්ශන නිලධාරීහු පවසති.