Press "Enter" to skip to content

මේඩ් ඉන් ශ්‍රී ලංකා ත්‍රීවීල් ඇවිත්

YOUR EXISTING AD GOES HERE
  • රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් 600කට රස්සා දෙන්න පුළුවන්
  • ආනයන කොටස්වලට වඩා 50%ක් අඩු මිලට දෙන්න පුළුවන්
  • ලංකාවේ ත්‍රීවීල් ලක්ෂ 11ටම පාට්ස් හදන්න පුළුවන්

පංචිකාවත්ත වටරවුමේ සිට මාලිගාවත්ත පොලිසිය හන්දිය පසුකර ගිය විට හමුවන්නේ හතරමං හන්දියකි. මේ හන්දියට නමක් කොළඹ නගර සභාව විසින් නම් කොට නැතත් එම හන්දියට පොදු ජනතාව කියන්නේ ‘ඇල්බා‘ හන්දිය කියාය. මේ හන්දියට මේ නම වැටුණේ ඇයි? කොළඹ හෙට්ටිවීදියට රත්‍රන් බඩු ගැනීමට එන්නාක් මෙන් ත්‍රිරෝද රථවලට සම්බන්ධ සියලු අමතර කොටස් ඇති කොළඹ පිහිටි කඩ පේළි පිහිටි හන්දිය මෙයයි. ඇල්බා කියන්නේ එම විදියේ ප්‍රකටම දැවැන්තම වෙළෙඳසැලක නමකි.

ඩොලරයේ මිල ඉහළ යෑම, නැව් ගාස්තු ඉහළ යෑම සහ බදු සංශෝධන නිසා දැන් ත්‍රීවීල් අමතර කොටස් මෙන්ම බොඩි පාට්ස් මිල ද ඇත්තේ උඩු ගුවනේය. ත්‍රීවීල් අමතර කොටස් 90% කට වඩා ආනයන කෙරෙන්නේ ඉන්දියාවෙනි. ඉන්දියන් රුපියලේ වටිනාකම ඉහළ යෑම නිසා මේ ත්‍රීවීල් කොටස්වල දිනපතා මිල ඉහළ යන තත්ත්වයක් පවතී.

මෙරට පොදු ජනතාව අතර ජනප්‍රියතම වාහනය වන ත්‍රිරෝද රථයට අමතර කොටස් දේශීයව නිපද වන්නට එච්.බී. මිල්ටන් දැන් පියවර ගෙන ඇත. මිල්ටන් මෙරට ජනතාවට මුලින්ම හඳුන්වා දුන්නේ සිළුමිණ පුවත්පත මඟිනි. පසුගිය සැප්තැම්බර් 4 වැනිදා සිළුමිණ පුවත්පතේ ‘ඉන්ධන නැතුව විදුලියෙන් දුවන ත්‍රීවිල් හදන විශ්ම කර්මයා‘ යනුවෙන් ලිපියක් පළ කරන ලැබුවේ මේ මිල්ටන් ගැනය.

මිල්ටන්ගේ මේ ෆැක්ටරිය පිහිටා ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ හෝමාගම ආසනයේය. අප ලිපිය පළ කිරීමටත් පෙර බන්දුල අමාත්‍යවරයා මේ ව්‍යාපාරය ගැන දැන ගන්නට මිල්ටන් මෝටර්ස් වෙත ආවේ ව්‍යාපාරික නලින් වෙල්ගම සමඟය.

මිල්ටන්ට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ලියාපදිංචිය ගැන ඇති ගැටලු අසා සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසු දිනම ඒ ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළේය. ලංකාවේ නිපදවන ඉලෙක්ට්‍රික් වාහන ලියාපදිංචියට මෙන්ම පෙට්‍රල් ත්‍රීවිල් විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද බවට පරිවර්තනයට අවශ්‍ය පනත සඳහා වන අනුමැතිය ලබා ගත්තේ ඒ ආකාරයෙනි. මේ ගැන ගත් කඩිනම් පියවර ගැන ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට, ව්‍යාපාරික නලින් වෙල්ගමට මෙන්ම පූජ්‍ය ගලගම ස්වාමීන් වහන්සේටත් මිල්ටන් තම කෘතඥතාව පුදකර සිටියේය. එමෙන්ම මිල්ටන් කියන්නේ බන්දුල ඇමැතිවරයා මෙන් අනිත් ඇම­ැතිවරුන් තම විෂය පථයට අදාළ ප්‍රශ්න ගැන මෙවැනි කඩිනම් පියවර ගන්නේ නම් අපේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට එය මහත් පිටිවහලක් වන බවය.

මිල්ටන්ගේ අලුත්ම ව්‍යාපාරය වන ත්‍රිරෝද කොටස් නිපද වීම ගැන කරුණු සොයන්නට මිල්ටන් මෝටර්ස් කර්මාන්ත ශාලාවට යන විට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද ද එහි පැමිණ සිටියේ බෝට්ටු එන්ජිමක් පරීක්ෂා කිරීමටය. සුහදව අපව පිළිගත් මිල්ටන් තම අලුත් නිෂ්පාදනය ගැන හැඳින්වීමක් ද කළේය.

“මගේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිෂ්පාදනය ගැන සිළුමිණේ ලිපිය ගියහම ඒක දැකලා ධීවර ඇමැතිතුමා මට කතා කරලා ඉලෙක්ට්‍රික්වලින් චාඡ්වෙන බෝට්ටුවක් හදලා දෙන්න පුළුවන්ද ඇහුවා. මම හැදුවා විදුලියෙන් චාඡ්වෙන බෝට්ටු එන්ජිමක්. පැයක් චාඡ් කළාම කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන්. සෝලා පැනල් ඒක බෝට්ටුවේ තට්ටුවේ හයි කළාම චාඡ් කරන්න ඉලේක්ට්‍රිසිටි ප්ලග් ඕනත් නැහැ”

මිල්ටන් මෝටර් දැවැන්ත කර්මාන්ත ශාලාව පුරා ඇවිද ගිය අපට ත්‍රීවීලයේ විවිධ කොටස් නිෂ්පාදනය කරන අංග එකින් එක දෑසින්ම දැක ගත හැකි විය.

“මං ඉන්දියාවේ බජාඡ් ෆැක්ටරියට පනස් වාරයකට වඩා ගිහින් තියෙනවා. ඔය ත්‍රීවීල් පාට්ස් හදන්න බාජාඡ් ෆැක්ටරිය වටේටම ගෙවල් දාහක් විතර තියෙනවා. ත්‍රීවීල් කෑලි එකත්වත් බජාඡ් ෆැක්ටරියේ හදන ඒවා නෙමෙයි. ඉන්දියාවේ මේක ගෘහ කර්මාන්තයක්.”

“එතකොට ෆැක්ටරියේ කරන්නේ සේල්ස් කරන එක විතරද?

“නෑ නෑ ෆැක්ටරිය හැම කෑල්ලක්ම කොලටි කන්ට්‍රෝල් කරල බලනවා (භාණ්ඩයේ ප්‍රමිතිය තත්ත්වය) ඊට පස්සේ ත්‍රීවීල් එක එසෙම්බල් කරන්නේ ෆැක්ටරියේ. මේක ලංකාවේ කළා නම් දහස් ගණනකට රස්සාවල් දෙන්න පුළුවන් කර්මාන්තයක්.”

මිල්ටන් කියන්නේ තමන්ට ත්‍රීවීල් කොටස් ලංකාවේ හැදිය හැකි නිසා ත්‍රිරෝද රථ අමතර කොටස් ආනයනය තහනම් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලිඛිතව කරන ලද බවය. එසේ නොමැති නම් ආනයන සීමා කිරීමෙන් මේ දේශීය කර්මාන්තය රැක ගත හැකි බව මිල්ටන් කීවේය. මිල්ටන්ගේ කර්මාන්තශාලාවට ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා පැමිණියේ ඉලෙක්ට්‍රික් මෝටර් බෝට්ටු එන්ජිම නිරීක්ෂණයට වුවත් එම අවස්ථාවේ මිල්ටන්ගේ ත්‍රීවීල් නිෂ්පාදනය දුටු ඇමැතිවරයා මවිතයට පත් විය. දේශීය ත්‍රීවීල් නිෂ්පාදනය ගැන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමට කැමැත්ත පළ කොට ඇති අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට පෞද්ගලිකව මිල්ටන්ගේ ඉල්ලීම සහිත ලිපිය භාර දීමට ද කටයුතු යොදා ඇත.

දැනට මිල්ටන්ගේ මේ කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිස 80 කට අධිකය.

“අපිට රාජ්‍ය අනුග්‍රහයක් දෙනවා නම් 600කට රක්ෂා දෙන්න පුළුවන්. අපිට නිකන් දෙන ආධාර එපා. ආණ්ඩුවෙන් පිනට සල්ලි එපා. ඇපයක් තියාගෙන අඩු පොලියකට සහන ණයක් තමයි ඉල්ලන්නේ. මේ දැන් තියෙන පොලියට ණයක් අරගෙන මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බෑ.”

දේශීය ත්‍රීවීල් අමතර කොටස් ව්‍යාපාරය නඟා සිටුවීමට මෙරට රක්ෂණ සමාගම් ද බාධාවක් වී තිබේ. වාහනයක් අනතුරට පත්වු විට රක්ෂණ ආයතනය වන්දිය අනුමත කරන්නේ ආනයනික ඉන්දියන් කොටස් සඳහාය. දේශීය නිෂ්පාදනවලට ඉන්ෂුවරන්ස් නොදෙන ප්‍රතිපත්තියක මෙරට රක්ෂණ ව්‍යාපාර පියවර ගෙන තිබීම අදහාගත නොහැකි ප්‍රශ්නයකි. ආනයනය කළ ත්‍රීවීල් බක්කියක් රුපියල් 150,000ක් පමණ වන අතර දේශීය නිෂ්පාදනයක් මිල්ටන් මිල නියම කොට ඇත්තේ රුපියල් 80,000කටය. ලංකාවේ නිෂ්පාදනය ආනයනික නිෂ්පාදනය මෙන් මල නොකෑමද විශේෂත්වයකි. මේ අනුව පෙනී යන්නේ දේශීය ත්‍රීවීල් කොටස් බාල ආනයනික කොටසට වඩා 50%ක් මිල අඩු බවය.

ත්‍රීවීල් කොටස් නිපද වීමට ‘මෝල්ඩ්‘ නොහොත් අච්චු නිපදවිය යුතුය. එය කෝටි ගණනක ආයෝජනයකි. මෝල්ඩින් යන්ත්‍රය තුළට තහඩුව ඇතුළුකොට ප්‍රේස් කර කොටස සදා ගැනීම හෝ ප්ලාස්ටික් රබර් හෝ ලෝහයක් වක්කර හෝ ඉන්පෙක්ෂන් මෝල්ඩින් ක්‍රමයට නිපදවා ගත හැක්කේ ඉන් පසුවය.

“මේ මෝල්ඩ් ඉන්දියාවෙන් ගේන්න කෝටි ගාණක මුදලක් කැප කරන්න ඇති නේද?

“මේ අච්චු ඔක්කෝම ලංකාවේ හදපුවා. හැදුවේ ලක්මධු ඉංජිනියරින්. බොඩි පාට්ස් හදන මේ ලොකු යන්ත්‍ර සුත්‍ර ලංකාවෙන් මිලදී ගත්ත ඒවා.”

මිල්ටන් පැවසුවේ ලංකාවේ ත්‍රීවීල් ලක්ෂ 11කට වඩා ඇති බවයි. 2021 මහ බැංකු වාර්තාවේ ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් පරිච්ඡේදයේ 45 වැනි සංඛ්‍යා සටහන සඳහන් පරිදි 2012 සිට 2021 දක්වා ලංකාවේ ලියාපදිංචි කොට ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව පමණක් 534,351කි. “ලංකාවේ ත්‍රීවීල් ඔක්කෝටම දේශීයව කොටස් හදන්න පුළුවන්. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, අපි මිල අඩු බාල අමුද්‍රව්‍ය ප්‍රතිපත්තියක් විදිහට භාවිත කරන්නේ නැහැ. මම මේ ගැන මහ බැංකුවේ අධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා.”

ශ්‍රී ලංකා මහ බැංකුවට මෙවැනි දේශීය කර්මාන්ත රැක ගැනීමට සෘජුවම සහාය විය හැකිය.

ලංකාවේ උපාලි ෆියට්, උපාලි මැස්ඩා කාර් උපාලි විජයවර්ධන එකලස් කළේ ඉන්දියාවටත් කලින්ය. එවක ඉන්දියා කොන්ග්‍රසයේ බලවතා වුයේ සංජේ ගාන්ධිය. ලංකාවේ උපාලි ෆියට් එක දැකපු ගාන්ධි කිව්වේ කවදා හෝ ඉන්දියාවෙත් ලංකාවේ මෙන් මෝටර් රථයක් නිපදවිය යුතු බවය. ගාන්ධි එසේ කියා නිකන් හිටියේ නැත. ජපානයේ සුසුකි කොම්පැණිය සමඟ එක්ව මරුති (මාරුතය) කොම්පැණිය පටන් ගත්තේ ජපන් ඉන්දියන් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙසය. එදා උපාලි විජේවර්ධනට ලංකාවේ කාර් හදන්නට දැවැත්ත සෙවණැල්ලක් මෙන් සහාය දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එවක අග්‍ර­ාමාත්‍ය වරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආශීර්වාදයෙන් එම ව්‍යාපාරයට බදු සහන පවා ලැබුණි.

මිල්ටන් පවසන්නේ අන්තර්ජාලයෙන් තම නිෂ්පාදන දැක දැනටමත් විදේශීය ඇණවුම් ලැබෙමින් පවතින බවය. විශේෂයෙන් අප්‍රිකානු රටවල බජාජ් ත්‍රිරෝද රථ ජනප්‍රිය වාහනයකි. 2014 දී ඩේවිඩ් පීරිස් සමාගමේ ටැන්සානියා ශාඛාව වසා දමන ලදි. ටැන්සානියාවේ සිටියේ මිල්ටන් සමග සිටි සමකාලිීනයන් පිරිසකි. ඔවුන්ගේ ආරාධනයෙන් ටැන්සානියාවට යන මිල්ටන් එරට ‘ලෙයියා‘ නම් වු ව්‍යාපාරිකයා සමග එක් වී ව්‍යාපාරය ආරම්භ කරන ලදි. ටැන්සානියාවට ඉන්දියාවෙන් ආනයනය කරන බජාජ් අමතර කොටස් මුහුදු සුළඟ නිසා ඉක්මනින් මලකා දිරාපත් විය. මිල්ටන් බජාජ් ත්‍රීවීල් රථයේ එන්ජිම හැර බොහෝ කොටස් මල නොකන ලෝහයෙන් නිෂ්පාදනය කිරීමට අත ගැසුවේය. මේ සඳහා අවශ්‍ය සින්ක් කෝටඩ් තහඩු ‘මිල්ටන්’ මිලදී ගත්තේ ජපානයෙනි. නමුත් කෝටි සිය ගණනක අලාභයක් සිදු වෙමින් ටැන්සානියානු ව්‍යාපාරයේ අයිතිය මිල්ටන්ගෙන් ගිලිහෙන්නට විය.

ආයෙත් ටැන්සානියාවේ ෆැක්ටරියක් පටන් ගන්න අදහසක් එහෙම තියෙනවාද? මම ඇසුවෙමි.

ටැන්සානියාවට යවන ඉන්දියන් ත්‍රීවීල් බොඩි පාට්ස් මලකඩ කන හින්දා ඉක්මනින් දිරනවා. අපේ මේ ලංකාවේ නිෂ්පාදන මලකඩ කන්නැති නිසා ටැන්සානියාවේ කම්පැනියක් ඉල්ලීමක් කරල තියෙනවා. එහේ ෆැක්ටරියක් අරින්න. ලෝකේ මොන රටකටත් වඩා මං ආදරය කරන්නේ ලංකාවට. අපට ජනාධිපතිතුමා මැදිහත් වෙලා, මහ බැංකුව සහාය වෙලා නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙනවා නම් අපිට ලංකාවේ ඉඳලා මේ නිෂ්පාදන ටැන්සානියාව විතරක් නෙවෙයි තව රටවල් ගාණකට යවන්න පුළුවන්.

දේශීය ත්‍රීවීල් කොටස් නිෂ්පාදනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නොලැබුණොත් ටැන්සානියානු රජයෙන් ඉල්ලීමක් කළොත් මේ කර්මාන්තශාලාව ටැන්සානියාවට ගෙනියන්න අදහස් කරගෙන ඉන්නවාද?

“එහෙම ආරාධනයක් දැනටමත් ලැබිල තියෙනවා. මේ රටේ හැමදෙයක්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. හැමතැනම තියෙන්නේ ගසාකෑම. රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන් රටට වැඩක් ගන්නේ නැහැ. හැමෝම බලන්නේ පිටරටින් මොනවා හරි දෙයක් ගෙනල්ලා කොමිස් එකක් තියල විකුණල නිකන් ඉන්න. අපි මේ වගේ ව්‍යාපාරවලට කෝටි ගණන් යට කරල මුදල ලැබෙනකම් කොයිතරම් කල් බලන් ඉන්නද?”

මිල්ටන් පවසන්නේ අපනයන කරන කොන්දේසිය මත අමුද්‍රව්‍ය සැපයීමට තමන්ට යෝජනාවක් ලැබී ඇති බවය. එහෙත් ඔහු කියන්නේ අපනයනයට පෙර මෙරට අමතර කොටස් නැතිව අසරණව සිටින ත්‍රිරෝද රථ හිමියන්ට දේශීය අමතර කොටස් ලබාදිය යුතු බවය.

“මම ව්‍යාපාරිකයකු වශයෙන් මුළුමනින්ම ගොඩ නැඟුණේ ලංකාවේ ත්‍රීවීල් හිමියන්ගෙන්. ආණ්ඩුව සහාය දෙනවා නම් ලංකාවටම ත්‍රීවීල් කොටස් හදල ඉවර වෙලා පිටරටට යවලා විදේශ විනිමයක් සොයා ගන්න පුළුවන්.”

මිල්ටන් පවසන්නේ මෙම ත්‍රිරෝද රථවලට පෙට්‍රල් එන්ජින් තබනවාට වඩා ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් බවට පත්කිරීම පෙට්‍රල් ආනයනයට වැය කරන කෝටි ගණනක ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවය. පසුගිය නොවැම්බර් 14 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කෙරුණු අයවැයේ 62.1 පරිච්ඡේදය වෙන්වී ඇත්තේ සූර්ය බලශක්තිය / විද්‍යුත් මෝටර් කාර් නිෂ්පාදනයට පහසුකම් වෙනුවෙනි.

මිල්ටන් අවසන් වශයෙන් අපට පැවසුවේ දේශීයව නිපදවන විදුලි ත්‍රිරෝද රථ චාජ් කිරීමට විදුලි බලය පවා දැන් අත්‍යවශ්‍ය නොවන බවය. දැන් අලුත්ම ක්‍රමවේදය වී ඇත්තේ සෝලා පැනලය සහ ස්ටිකරයක් ලෙසින් නිෂ්පාදනය කොට ඇති බැවින් ත්‍රිරෝද රථයේ හුඩ් එකේ එය දැල්වීමෙන් ස්වයංක්‍රීයව ත්‍රිරෝද රථයේ බැටරිය චාර්ජ් කර ගත හැකි බවය.

ගෑස් අර්බුදය – පෙට්‍රල් අර්බුදය – කඩදාසි අර්බුදය අභිභවමින් ත්‍රීවීල් අර්බුදය මතුවීමට පෙර රජය වහා පියවර ගෙන මෙවැනි කර්මාන්ත ප්‍රවර්ධනයට සක්‍රියව දායක වුවහොත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක් අයවැය යෝජනාවක් මල්පල ගැන්වීමක් මෙන්ම දහස් ගණනකට රැකියා හිමි කරමින් දේශීය කර්මාන්තයක් නගා සිටුවීමක් ද වනු නියතය.