Press "Enter" to skip to content

තාත්තාගේ අතවරය කියන්න 12 වියැති දියණිය කිලෝමීටර් 12ක් පයින්ම පොලීසියට

වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදුවන ලිංගික හිරිහැර ඉවසා ගත නොහැකි බව කියන වයස අවුරුදු 12ක දැරියක් කිලෝමීටර් 12ක පමණ දුරක් ගෙවා ගල්නෑව පොලීසිය සොයා තනිවම පැමිණ පෙරේදා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ගල්නෑව පොලීසිය පවසයි.

පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු යුද හමුදා සෙබළකු බව පොලීසිය කියයි. ඔහු 35 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වැනි ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, පියා එතැන් සිටම අවස්ථා ගණනාවක දී ඇය දූෂණයට ලක් කළ බවත් දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලීසිය සදහන් කරයි.

දැරියගේ මව වත්තක තේ දලු නෙළීමට ගම්පොල ප්‍රදේශයට මීට දින පහකට පමණ පෙර ගිය අවස්ථාවේදී ද සැකකාර පියා දැරිය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්කර ඇති අතර, මෙලෙස දිගින් දිගටම සිදුවන හිරිහැර ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් ඇය ගල්නෑව පොලීසියට පෙරේදා පැමිණ සියල්ල හෙළි කළ බව පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවසට වහා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් යනවිට සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපායදූතියක් මාර්ගයෙන් ඔහු ඉපලෝගම පොලිස් වසමේ සදුන්ගම දී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණය් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලංකාදීප