මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් අනුරාධපුරේ තරුණයා මියයයි
හදිසි අසනීප තත්ත්වයක් නිසා මියගියා
පහරදීමක් වුණේ නෑ කියා සිරකුටියේ සිටි අනිත් සැකකරුවන් ප්‍රකාශ දී තිබෙනවා
පොලිසිය කියයි
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (30 දා) අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, එදින රාත්‍රි අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි එම තරුණයාගේ ඥාතීහු පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට චෝදනා කළහ.
“හොඳට හිටිය දරුවා පොලිසිය මරා ගත්තා, අනේ දෙයියනේ ඇයි දරුවට මෙහෙම දෙයක් කළේ” යැයි එම ඥාතීහු පැවසූහ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙවන පියවර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ශනුක ගිහාන් මාරඹගේ නමැති 22 හැවිරිදි තරුණයෙකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ජීවිතක්ෂයට පත් වූ එම තරුණයාගේ මිත්තණිය වන කේ. ආරියවතී මහත්මිය මෙසේ පැවසුවාය.
“මැරිලා ඉන්නේ මගේ මුනුපුරා. එයාගේ අම්මා රට රස්සාවක් කරන්නේ. තාත්තා කොළඹ. මේ දරුවා තමයි පවුලේ එකම දරුවා. ඊයේ උදේ පොලිසියෙන් අරන් යනකොට තේ බීලා හිටියෙත් නැහැ. එක පාරටම අසනීප වෙලා. මැරෙන්න තරම් ලෙඩක් තිබ්බේ නැහැ.”
ඥාතීහු නැඟූ එම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය. මත්ද්‍රව්‍ය ළඟ තබා
ගැනීමේ චෝදනාවක් යටතේ 30 දා පෙරවරු 11.45ට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්වරු 4.50ට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී පස්වරු 5.35 ජීවිතක්ෂයට පත්වී තිබුණා. පහරදීමක් සිද්ධ වුණේ නෑ කියලා ඔහු සමග සිර මැදිරියේ සිටි අනිත් සැකකරුවන් ප්‍රකාශ ලබාදී තිබෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය. මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
Source – divaina.lk
Published in Gossip