කුරුණෑගලට ආසන්න ප්‍රදේශයක පිහිටි රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විශ්‍රාම යාමට තවත් වසරක කාලයක් ඉතිරිව ඇති මෙම වෛද්‍ය නිලධාරියා රෝග පරීක්ෂා කරන මුවාවෙන් ලිංගික අතවරයකට ලක්කළේ යැයි මාවතගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ පැමිණිලිකාර කාන්තාව මෙම සිද්ධියට මුහුණ පා ඇත. පරීක්ෂාවට ලක්කිරීමට පෙර මෙම වෛද්‍යවරයා පැය භාගයකට වැඩි කාලයක් විවිධ ලිංගික කරුණු සම්බන්ධයෙන් එම කාන්තාව සමග දුරකථන සංවාදයක යෙදී ඇති අතර කාන්තාව එම සංවාදය තම ජංගම දුරකථනය මගින් පටිගත කර එය තම සැමියාට ලබාදී ඇත.
රෝහලේදී මෙන්ම මෙම වෛද්‍යවරයා පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකදීද ප්‍රතිකාර සඳහා පැමිණෙන කාන්තාවන් විශාල පිරිසක් මේ වන විට මොහුගේ අතවරයට ලක්ව ඇති බවද සමාජයට හෙළි වෙතැයි බියෙන් සහ ලැජ්ජාවෙන් ඔවුන් එම අතවර සිද්ධීන් සඟවාගෙන සිටින බවද වාර්තා වේ.
මෙම ලිංගික අපයෝජනයන්ට අමතරව රෝහල තුළ සිදුකරන ලද වංචනික ක්‍රියාවන් රැසකටද සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වන බැවින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි ලබාදීමට එම රෝහලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවද දැනගන්නට ලැබේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ඉහළම නිලධාරීන් තම සමීප හිතවතුන් බව පෙන්වමින් රෝහල් කාර්ය මණ්ඩලය බියපත් කරගෙන සිටින බව කියන මෙම වෛද්‍යවරයා ඒ බව ඔහුට එරෙහිව පැමිණිලිකර ඇති කාන්තාවටද පවසා තිබෙන බවද සඳහන් වේ.
එම වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඉන් ලැබෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාන්ති වේහැල්ල ප්‍රකාශ කළාය.0
Published in Gossip