සමාජ මාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝළනයට තුඩු දුන් කුඩා බලුපැටවුන් දෙදෙනෙක් මෝටර් රථයකින් අනතුරට ලක්කර පළා යන වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ මතුරට පොලීසිය ඊට සම්බන්ධ මෝටර් රථය හඳුනාගෙන අනතුර සිදු වන අවස්ථාවේදී එය පැදවූ 23 හැවිරිදි තරුණියක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය පදියපැලැල්ලේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරියක් බවත් ඇය හා කෝටිපති ව්‍යාපාරිකයාගේ විවාහය සිදුව ඇත්තේද මෑතකදී බවත් පොලීසිය කියයි. උපාධිධාරිණියක වන ඇය එම අවස්ථාවේදී මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ තනිවමය.
මෙම අනතුර පසුගිය 18 වෙනිදා සවස 5.00ත් 5.15ත් අතර කාලය තුළ සිදුව ඇත්තේ රිකිල්ලගස්කඩ පදියපැලැල්ල හරහා නුවරඑළිය දක්වා ගමන් කරන මාර්ගයේ “කදුරකඩේ“ ප්‍රදේශයේදී බව පොලීසිය කියයි.
මැයගේ සැමියාගේ පියා මතුරට, පදියපැලැල්ල, හගුරන්කෙත ආදී ප්‍රදේශවල ප්‍රසිද්ධ ගෘහ භාණ්ඩ අලෙවිසල් ජාලයක හිමිකරුවෙකි. තරුණියගේ සැමියාද එම ව්‍යාපාර ජාලයට සම්බන්ධ පුද්ගලයෙක් බවද පොලීසිය කියයි. මේ අය ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් බවද සඳහන්ය.
බලුපැටවුන් දෙදෙනා යටකරමින් ඇය පදවාගෙන ගිය මෝටර් රථය ඇගේ සැමියාගේ සහෝදරයකුට අයත් එකක් බව පොලීසිය කියයි. ඔහු ඩුබායි හී රැකියාවක නිරතව සිටින්නෙක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
මෙම තරුණියගේ සැමියාට නිවාස දෙකක් රිකිල්ලගස්කඩ සහ මතුරට යන ප්‍රදේශ දෙකේම ඇති බව පොලීසිය කියයි. ඇය මතුරට නිවසට ගොස් රිකිල්ලගස්කඩ නිවසට යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. පොලීසිය පවසනුයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ මෙම අනතුර සම්බන්ධ වීඩියෝව ගැන මෙන්ම ගම්වැසියන් පොලීසියට ලබාදුන් තොරතුරු ඔස්සේ සත්ත්ව හිංසා පනතින් විමර්ශන පවත්වා මෙම තරුණියව අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවය.
තමා අතින් මෙම අනතුර වූ බව පොලිස් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා තිබේ. ඇය පවසා ඇත්තේ ඉදිරියෙන් බස් රථයක් පැමිණි බවත් ඒ අසල තවත් වාහන කිහිපයක් නවතා තිබුණු බැවින් පළමු බලු පැටියාව තමන්ගේ වාහනයට යටවූ බවය. එහිදී තමා තැතිගැන්වූ බැවින් දෙවැනි බලුපැටියාද යටවුණු බවත් එම ස්ථානයේ පිරිසක් රැදී සිටි බැවින් ඇතිවුණු බියට තමා මෝටර් රථය නොනවත්වා ධාවනය කළ බවත් ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.
පොලීසිය පවසන්නේ මෙම අනතුර සිදුවූ අයුරු සටහන්වූ ආරක්ෂක කැමරා පද්ධතිය ඇත්තේ ත්‍රීරෝද රථ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින පුද්ගලයකුගේ නිවසක බවය. එම පුද්ගලයාගේ මහගේ ඇත්තේද ඒ ආසන්නයේ බවද පොලීසිය කියයි. එම පවුලේ සාමාජිකයකු මියගොස් ඇති බවත් ඒ නිසා එම නිවසට අසල්වැසි පුද්ගලයන් කිහිප දෙනෙක් පැමිණ සිට ඇතත් ඒ අය පැමිණි වාහනවලින් මාර්ගය අවහිර වීමක් පෙනෙන්නට නොමැති බවය. එසේම ඇය පවසන ආකාරයට ඉදිරියෙන් බස් රථයක් පැමිණ ඇතත් එය මෙම අනතුරට හේතුවක් බව නොපෙනෙන බවද පොලීසිය කියයි.
මෙම බලු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටවී මිය යාමෙන් පසු එම සිරුරු අසලට වී බල්ලකු ඉතා දුක්බර ලෙස බලා සිටින අයුරු සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවූ ඡායාරූප අතර දක්නට ලැබුණි. එම සංවේදී රූප රාමු නිසාම මෙම අනතුර සමාජයේ දැඩි අවධානයට යොමුවී තිබුණි. එම බල්ලා මිය ගිය බලුපැටවුන්ගේ මව බව කියැවුණත් පොලීසිය පවසන්නේ ඒ බැල්ලක් නොව, බල්ලකු බවය. මෙම බලුපැටවුන් දෙදෙනාව සති තුනකට පමණ පෙර කිසියම් අයෙක් විසින් මෙම ස්ථානයට රැගෙනවිත් දමාගොස් ඇති බවත් මෙම බල්ලා එම සතුන්ට කරුණාව දක්වමින් සිට ඇති බවත් පොලීසියට තොරතුරු සොයාබැලීමේදී දැනගන්නට ලැබී ඇත. ඒ බව ඒ අවට වැසියන්ද පොලීසියට පවසා ඇති අතර එම සතුන්ට කෑම බීම පවා ලබාදී ඇත්තේ ඒ අවට වැසියන්ය.
පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණියව සත්ත්ව හිංසන පනතින් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වැරැද්ද පිළිගත් බවය. ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඇයව මුදාහැර ඇති අතර ජුනි 01 වෙනිදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බව පොලීසිය සඳහන් කළේය.
දිනමිණ






